ඇමරිකානු ජනාධිපතිවරණය: නිව් යෝර්ක් ජය ට්‍රම්ප් සහ ක්ලින්ටන් ට

Trump and Clinton
ඡායාරූප ශීර්ෂ වැකිය,

ලැබී ඇති ප්‍රථිපල 98% ක ප්‍රමාණයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් 60% ක් ලබා ඉදිරියෙන් සිටින අතර හිලරි ක්ලින්ටන් 58% ක ට මදක් අඩුවෙන් ලබාගෙන තිබේ.

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලබා ගනු වස් පැවැත්වෙන ඡන්ද විමසීම් මාලාවේ නිව්යෝර්ක් චන්ද විමසීමේ දී රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්ක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ටන් තම තමන්ගේ පක්ෂවල ප්‍රතිවාදී අපේක්ෂකයන් පරදා පහසු ජයක් වාර්තා කළහ.

ගණනය කරනු ලැබූ ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් ලබාගත් ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ ප්‍රතිවාදීන් වන ටෙඩ් ක්රූස් සහ ජෝන් කැසිච් අභිබවා ඉදිරියට පැමිණ සිටී.

මේ අතර ඩිමොක්ක්‍රටික් පක්ෂයේ නාමයෝජනා හිමි කර ගැනීමේ අපේක්ෂාවෙන් තරඟ වදින නිව්යෝර්ක් හි හිටපු සෙනෙට් සභික හිලරි ක්ලින්ටන් බ්රුක්ලින් හි උපත ලද බර්නි සැන්ඩර්ස් පරදවා ජය ගෙන ඇත.

මේ ජයග්‍රහණත් සමග හිලරි ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා ලැබීමේ අවස්තාව උදාකර ගැනීමට ආසන්න වෙමින් සිටිති.

ලැබී ඇති ප්‍රථිපල 98% ක ප්‍රමාණයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් 60% ක් ලබා ඉදිරියෙන් සිටින අතර හිලරි ක්ලින්ටන් 58% ක ට මදක් අඩුවෙන් ලබාගෙන තිබේ.

ඇමරිකානු මාධ්‍ය ජාල පවසන්නේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන් වනවාත් සමගම රාත්‍රී 9.00 (ග්‍රිනිච් වේලාවෙන් 01.00) වනවිට ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබූ බවයි.

මැන්හැටන් හි ට්‍රම්ප් ටවර් හි දී තම සහායකයන් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ "මාව හොඳින් දන්නා නිව්යෝර්ක් ජනතාවට මට කියන්න තියෙන්නෙ මේ තරම් ඡන්ද ප්‍රමාණයක් දීම පුදුම සහගතයි" යනුවෙනි.

එහෙත් ප්‍රධාන ලෙස අවධානයට ලක් වී ඇත්තේ කෝටිපති ව්‍යාපාරික ට්‍රම්ප් නිව්යෝර්ක් හි රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයන් 95 දෙනා දිනාගනිමින් නාම යෝජනා ලැබීම සඳහා වැඩි චන්ද ලබාගනීවී ද යන්නයි.

ජුලි මාසයේ පැවැත්වෙන රිපබ්ලිකන් නියෝජිත හමුවේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව වැඩි පක්ෂ නියෝජිතයන් සංඛ්‍යාවක් දිනා ගැනීමට ටෙඩ් ක්රුස් ට ඇති අවස්තාව සීමිත බවයි ABC වාර්තාකරු පවසන්නේ.