මෙක්සිකෝවේ තෙල් ගබඩා අනතුරින් 3 ක් මරුට, 136 කට තුවාළ

ගිනිකොන දිග මෙක්සිකෝවේ වෙරාක්රුස් (Veracruz) පළාතේ තෙල් බලාගාරයක සිදු වූ පිපිරීමකින් තිදෙනෙකු මියගොස් 136 දෙනෙකුට තුවාල සිදු වී තිබේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ මෙක්සිකෝ රාජ්‍ය තෙල් සමාගමට අයත් කොර්ට්සාකොල්කොස් (Coatzacoalcos) වරාය නගරය අසල පිහිටි තෙල් ගබඩාවකයි

සියගණනක් පිරිස් ප්‍රදේශයෙන් ඉවත්කොට ඇති අතර පාසැල් වසා දමා තිබේ. වීඩියෝ දර්ශන මගින් පෙනීයන්නේ විශාල දුම් කඳක් අහසට නගින අකාරය සහ ගිනිදැල් පැතිරී යන ආකාරයයි.

මෙම පිපිරීමට හේතුව තවමත් හෙළි වී නැති අතර මෑත වසර කීපය තුළ පෙමෙක්ස් සමාගමේ ගබඩාවල මෙවැනි පිපිරීම් කිහිපයක්ම වාර්තා වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම අලුත්ම පිපිරීම සිදුවී ඇත්තේ සවස 15. 30 (ග්‍රිනිච් වේලාවෙන් 20.15)ට පමණ වන බවටයි පෙමෙක්ස් සමාගමේ ප්‍රකාශ වලින් හෙළි වන්නේ. වෙරාක්රුස් හි ආණ්ඩුකාර ජෙවියර් දුවර්තේ ගුවන් විදුලියට පැවසුවේ මෙම පිපිරීම සැතපුම් හයක් තරම් ඈතට අසුන බවයි.

ගින්න පාලනය කිරීමට හැකිවූ බව පෙමෙක්ස් සමාගම පවසන අතර දුම් වල ඇති විෂ ආඝ්‍රණය විය හැකි බැවින් නිවෙස් තුලට වී සිටින ලෙස ප්‍රදේශවාසීන්ට උපදෙස් දී තිබේ.

දුම්රොටු ඉතා ඉක්මනින් පහව ගොස් ඇති නිසා වායුගෝලයේ තිබිය හැකි විෂ සහිත බව තුනී වී ඇති බවයි පෙමෙක්ස් සමාගම පවසන්නේ.

තුවාල සිදුවූ 136 දෙනා අතරින් අසාධ්‍ය තත්වයේ 88 දෙනෙකු රෝහල් වල සිටින බවද පෙමෙක්ස් සමාගම පැවසුවේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

තෙල් ගබඩාවට නුදුරින් පදිංචි වී සිටින සිය ගණනක් ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත්කර තිබේ

ඡායාරූප ශීර්ෂ වැකිය,

අපනයනය කිරීම් වලට බාධාවක් සිදු නොවනු ඇති බවයි පෙමෙක්ස් සමාගම පවසන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මෑත අවුරුදු කිහිපය තුළ කිහිප වතාවක් පෙමෙක්ස් සමාගමට අයත් ගබඩා වල පිපිරීම් හටගත් බවයි පැවසෙන්නේ

'ඇසෝසියේටඩ් ප්‍රෙස්' ප්‍රවෘත්ති වාර්තාවන් පවසන්නේ PVC පයිප්ප සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා අනතුරුදායක රසායනික ද්‍රව්‍යයක් වන වයිනයිල් ක්ලෝරයිඩ් මෙම ගබඩා කම්හල තුළ සිදුකෙරෙන බවයි.

මෙක්සිකෝවේ ඇති වඩාත් විශාලතම තෙල් ගබඩාවක් වන මෙහි සිදුවූ මෙම පිපිරීමෙන් තෙල් අපනයනයට බාධා සිදු නොවනු ඇති බවයි පෙමෙක්ස් සමාගම පවසන්නේ.