ඊසානදිග ඉන්දියාවේ නාය යෑමකින් 15 ක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තාවාන් ප්‍රදේශය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ප්‍රදේශයකි.
අධික වර්ෂාව හේතුවෙන් ඊසානදිග දිග ඉන්දියාවේ අරුනාචාල් ප්‍රදේශ්හි සිදුවූ නාය යාමකින් පුද්ගලයන් 15 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීහු පවසති.
ආපදා සහන සේවකයන් විසින් තවමත් දිවි බේරාගත්ත්වුන් සිටීදැයි සොයමින් සෝදිසි මෙහෙයුම් කරන බවයි වාර්තාවන්නේ.
සිකුරාදා උදෑසන තාවාන් දිස්ත්‍රික්කයේ ගොඩනැගිලි කම්කරුවන් පිරිසක් නැවතී සිටි තාවකාලික කඳවුරක් මෙම නාය යාමෙන් යටවී ඇති අතර මියගියවුන් ගෙන් වැඩි දෙනෙක් ගොඩනැගිලි භුමියේ සේවකයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.
නාය යෑම් ඉන්දියාවේ බහුලව සිදුවන නමුත් බොහෝවිට එය සිදුවන්නේ මෝසම් වර්ෂාව පවතින ජුනි සහ සැප්තැම්බර් අතර කාලය තුළදීයි.
මුහුදුමට්ටමේ සිට මීටර් 3000 ක් පමණ උස් භුමි ප්‍රදේශයක හෝටල් ගොඩනැගිල්ලක් තැනීමේ කටයුතු වල නියුතු ගොඩනැගිලි සේවක පිරිස තම තාවකාලික කඳවුර තුළ නිදාසිටියදීයි නාය යාම සිදුවී තිබෙන්නේ.
" තුන්දෙනෙක් ගේ ජීවිත බේරුණා. සුළු තුවාල විතරයි ඔවුන්ට තියෙන්නෙ. මේ විශාල පස්කන්ද කඩාවැටෙන කොට කඳවුර ඇතුලෙ විසි දෙනෙක් ඉඳල තියනව" යනුවෙනුයි තාවාන් දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රධානී අන්තෝ ඇල්පොන්ස් මාධ්‍යයට පැවසුවේ.
තිබ්බතයට ආසන්න දේශ සීමාවේ ඇති චීනයට ද කොටසක් අයිති බව කියවෙන හිමාලයේ අරුනාචාල් ප්‍රදේශ් පළාතේ මේ දිනවල අධික වර්ෂාව පවතින බවයි වාර්තා වන්නේ.