'ඔබාමා ගේ ප්‍රකාශය බුද්ධිමත් නැහැ' - බොරිස්

presiden-Obama
ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීම වඩා ප්‍රතිඵල දායක බවයි ජනාධිපති ඔබාමා පවසන්නේ

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බව පවසන්නන් කෝප ගන්වමින් ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයේ සාමාජිකත්වය නොකඩවා රැකගෙන යායුතු බවට අදහස් දක්වා ඇත.

'ඩේලි ටෙලිග්‍රාෆ්' පුවත්පත පළකරන ආකාරයට එක්සත් රාජධානියේ තුන් දින සංචාරය අරඹමින් ඔබාමා පවසන්නේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම, රැකියා උත්පාදනය සහ ලෝකය තුළ බලපෑමක් ඇති කිරීම වැනි දෑ සඳහා යුරෝපා සංගමය තුළ රැඳී සිටීම වඩා ප්‍රතිඵලදායක බවයි.

ඇමරිකාවේ වර්තමාන පරම්පරාවද බලාපොරොත්තු වන්නේ මේ සඳහා ඇමරිකාවේ මැදිහත්වීම බවට තර්ක කරන ඇමරිකානු ජනාධිපතිවරයා ගේ ප්‍රකාශයට යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතුබවට ඡන්දය භාවිතා කිරීමට අපේක්ෂාවෙන් සිටින පිරිස අතර අකමැත්ත පළවී තිබේ.

මෙම ප්‍රකාශය ඇමරිකානු ජනාධිපතිවරයාගේ 'කුහකකම' ප්‍රදර්ශනය කරන බවයි ඔවුන් පවසන්නේ.

'ද සන්' පුවත්පතට ලන්ඩන් නගරාධිපති බොරිස් ජොන්සන් පවසා ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය බුද්ධිමත් නොවන සහ නොගැළපෙන ප්‍රකාශයක් බවයි.