'සිරියාවේ පවතින ප්‍රශ්න හමුදා යවා විසඳන්න බැහැ' - ඔබාමා

සිරියාවේ සිටින ඉස්ලාම් රාජ්‍ය වැනි කණ්ඩායම් වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නොනවත්වා කිරීම වැදගත් බවයි ජනාධිපති ඔබාමා පවසන්නේ
සිරියානු ජනාධිපති අසාද් බලයෙන් නෙරපීම පිණිස සිරියාවට ගොඩබිමින් හමුදා යැවීමට බටහිර රටවල් කටයුතු කළ හොත් එය විශාල අත්වැරැද්දක් වනු ඇති බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසයි.
බීබීසීය සමග අදහස් දක්වමින් බරක් ඔබාමා පැවසුවේ සිරියාවේ සිටින ඉස්ලාම් රාජ්‍ය වැනි කණ්ඩායම් වලට ගුවන් ප්‍රහාර එල්ල කිරීම නොනවත්වා කිරීම වැදගත් වුවද ගොඩබිම ඔස්සේ කෙරෙන හමුදා මැදිහත් වීමකින් පමණක් සිරියාවේ පවතින ප්‍රශ්න වලට විසඳුමක් නොලැබෙන බවයි.
ජනාධිපති අසාද් ඇතුළුව ඔහුට සහය දෙන රුසියාව සහ ඉරානය වැනි මෙම ප්‍රශ්නයට අදාළ සියලු පාර්ශවයන්ට මෙම බල හුවමාරුව සිදු කිරීමේ සකච්චාවලට එක්වන ලෙසට බලකළ යුතු බවයි ඔහු පැවසුවේ.
"මම විශ්වාස කරනවා රුසියාව සහ ඉරානය ඇතුළු අසාද් ට සහය පලකරන සියලු පාර්ශවයන්ට සහ සිරියාව තුල ක්‍රියාත්මක විරුද්ධවාදී කණ්ඩායම්වලට එකම මේසයකට ඇවිත් බල හුවමාරුවක් පිළිබඳව එකඟවීමට ජාත්‍යන්තර පීඩනය එල්ල කරන්න අපිට පුළුවන් කියල" යනුවෙනුයි ජනාධිපතිවරයා පැවසුවේ.
තමාගේ ඉදිරි අවසන් මාස නමයක නිල කාලය තුළ ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් මුළුමනින්ම පරාජය කළ හැකි යැයි තමා නොසිතන බව පැවසූ ඔබාමා ජනාධිපතිවරයා ඇමරිකාව සහ මිත්‍ර රටවලට එම කණ්ඩායම් ක්‍රියාත්මක වන භුමිය සීමා කිරීමට හැකිවනු ඇති බවටයි බලාපොරොත්තුව පළකළේ.