ඩොනල්ඩ් ට්‍රම්ප් ට එරෙහිව පක්ෂය තුළින්ම ප්‍රහාරයක්

Ted Cruz and John Kasich

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනාගත හැකි පක්ෂ 'විශේෂ නියෝජිතයන්' සංඛ්‍යාව අඩු කිරීම මෙම සන්ධාන ගත වීමේ අරමුණයි

ඇමරිකානු ජනාධිපතිවරණ නාමයෝජනා සඳහා වූ ප්‍රථමික ඡන්ද විමසීම් මාලාවට තරඟ වැදී ඉදිරියෙන් සිටින රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ප්‍රතිවාදී රිපබ්ලිකන් අපේක්ෂකයන් දෙදෙනෙකු සාමුහික ක්‍රමවේදයන් තුළින් ට්‍රම්ප්ගේ ඉදිරි ගමන නවතා දැමීමට එකඟ වී සිටිති.

දැනට වැඩිම ප්‍රාන්ත සංඛ්‍යාවක් ජයග්‍රහණය කර සිටින රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ට දිනාගත හැකි පක්ෂ 'විශේෂ නියෝජිතයන්' සංඛ්‍යාව අඩු කිරීම මෙම සන්ධාන ගත වීමේ අරමුණයි.

ඒ අනුව රිපබ්ලිකන් අපේක්ෂක ටෙඩ් ක්රූස් විසින් ඔරිගොන් සහ නිව් මෙක්සිකෝ යන ප්‍රාන්තවල ප්‍රචාරක කටයුතු සීමා කරනු ලබන අතර ඒ සඳහා හිලව් වශයෙන් එම පක්ෂයේම ජෝන් කැසිච් විසින් ඉන්ඩියානා ප්‍රථමික චන්ද විමසීමේ පැහැදිලි ජයග්‍රහණයක් ටෙඩ් ක්රූස් ට ලබා දීම වෙනුවෙන් තම ප්‍රචාරක කටයුතු සීමා කරනු ඇත.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට රිපබ්ලිකන් පක්ෂයේ වැඩිම අසන සංඛ්‍යාවක් දිනා ගත් අපේක්ෂකයා වුවද ජුලි මාසයේ පැවැත්වීමට නියමිත පක්ෂ සමුළුවට පෙර වැඩිම 'විශේෂ නියෝජිතයන්' සංඛ්‍යාවක් දිනා ගැනීමට තවමත් සමත් වී නැත.

තම පක්ෂය තමනට එරෙහිව තරඟය වංචා කිරීමට උත්සාහ කරන බවටයි ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරන්නේ.

එහෙත් ඔහුගේ ප්‍රතිවාදීන් පවසන්නේ ට්‍රම්ප් ට නාමයෝජනා ලැබුණහොත් නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට රිපබ්ලිකන් පක්ෂයට නොහැකිවනු ඇති බවයි.