යේමනයේ මුකල්ලා නගරයේ දී අල් ඛයිදාවේ 800 ක් මරුට

Image caption මිත්‍ර හමුදා සහය ලැබූ යේමන හමුදා විසින් එල්ල කළ දැඩි ප්‍රහාරය හමුවේ බොහෝ සන්නද්ධකරුවන් නගරය අත්හැර ගොස් ඇති බවයි පැවසෙන්නේ

සෞදි අරාබියේ මූලිකත්වයෙන් යේමනයේ දී ක්‍රියාත්මක වන මිත්‍ර හමුදා විසින් එල්ලකළ ප්‍රහාරයකින් මුකල්ලා (Mukalla) වරාය නගරයේදී අල් ඛයිදා සන්නද්ධකරුවන් 800ක් මරා දමනු ලැබූ බව මිත්‍ර හමුදා අණදෙන නිලධාරීහු පවසති.

යේමනයේ අල් ඛයිදා සන්නද්ධකරුවන් ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක්ව පවතින්නේ මුකල්ලා වරාය නගරයයි.

මෙම නගරය වසරකට වැඩි කාලයක් අල් ඛයිදා සටන්කාමීන් ගේ පාලනයේ පවතින අතර එය එම සංවිධානයේ වැදගත් තොරතුරු මධ්‍යස්ථානයක් බවටයි සැලකෙන්නේ.

නිල සෞදි අරාබි ප්‍රවෘත්ති ආයතනයක් මගින් නිකුත් කරන ලද ප්‍රකාශයක මිත්‍ර හමුදා පවසන්නේ තම සහය ලැබූ යේමන හමුදා විසින් එල්ල කළ දැඩි ප්‍රහාරය හමුවේ බොහෝ සන්නද්ධකරුවන් නගරය අත්හැර ගොස් ඇති බවයි.

කෙසේවුවද මෙසේ මියගිය සංඛ්‍යාව පිළිබඳව ස්වාධීනව සනාථ කිරීමක් සිදුවී නැති බවයි වාර්තාවන්නේ.