සමලිංගික ක්‍රියාධරයෙකු කපා කොටා ඝාතනය කෙරෙයි

Xulhaz Mannan
ඡායාරූප ශීර්ෂ වැකිය,

මරා දැමුණු සංස්කාරකවරයා 'USAID' ඇමරිකානු ආණ්ඩුවේ ආධාර ආයතනයේ සේවය කොට ඇති බවයි පැවසෙන්නේ

බංගලාදේශයේ සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයකු ඇතුළු තවත් පුද්ගලයකු කපා කොටා මරා දමා ඇති බව එරට පොලිසිය පවසයි.

මීට දින දෙකකට ඉහතදී බංගලාදේශයේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකුද කපා කොටා ඝාතනය කොට තිබිණි.

මරා දැමුණු පුද්ගලයන් දෙදෙනා අතර සිටින ක්‍රියාධරයකු වන ජුල්හාස් මන්නම්, සමලිංගික අයිතීන් වෙනුවෙන් බංගලාදේශය තුළ හඬ නගන එකම සඟරාවේ කර්තෘවරයායි.

කපා කොටා මරා දැමුණු අනෙක් පුද්ගලයා ජුල්හාස් මන්නම්ගේ මිතුරෙකි.

ජුල්හාස් මන්නම් සහ ඔහුගේ මිතුරා ඝාතනය කොට තිබෙන්නේ ඩකා අගනුවර පිහිටි මන්නම්ගේ මහල් නිවසට කඩා වැදුණු නාදුනන පිරිසක් විසිනුයි.

මරා දැමුණු සංස්කාරකවරයා 'USAID' ඇමරිකානු ආණ්ඩුවේ ආධාර ආයතනයේ සේවය කොට ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.