'ඕස්ට්‍රේලියා සරණාගත කඳවුරු නීතිවිරෝධීයි'

Image copyright Getty Images
Image caption මනුස් දුපතේ සරණාගත කඳවුරුවලට ඇතුළුවීම දැඩි ලෙස සීමා කර තිබේ

මනුස් දුපතේ පවත්වාගෙන යන සරණාගතයන් සහ සංක්‍රමණික අනාථයන් රඳවා සිටින ඕස්ට්‍රේලියානු කඳවුරු ව්‍යවස්ථා විරෝධී බවට පැපුවා නිව් ගිනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයක් විසින් තීන්දුවක් දී තිබේ.

ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් මෙනුස් දුපතේ ඇති රැඳවුම් කඳවුරු වෙත යවනු ලබන්නේ ඔවුන් පිලිබඳ ඉදිරිකටයුතු කිරීම රටින් බැහැර දී සිදුකිරීම එරට ප්‍රතිපත්තිය වී ඇති බැවිනි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් පස් දෙනෙකු විසින් තීන්දු කරනු ලැබුවේ පැපුවා නිව් ගිනියා රාජ්‍ය ව්‍යවස්ථාවේ පෞද්ගලික නිදහස සනාථ කෙරෙන 42 වැනි පරිච්චේදය උල්ලංඝණය කිරීමක් මෙම කඳවුරු පවත්වාගෙන යාමෙන් සිදුවන බවයි.

ඒ අනුව අධිකරණය පැවසුවේ මෙම නීති විරෝධී රඳවා ගැනීම අවසාන කිරීමට පියවර ගත යුතු බවයි.

මේ වනවිට මිනිසුන් 850 ක් පමණ දූපත තුළ රඳවාගෙන සිටින අතර එම පිරිසෙන් භාගයක් පමණ සැබෑ සරණාගතයන් බවටයි තීරණය කොට ඇත්තේ.

Image caption මෙනුස් දූපත පැපුවා නිව්ගිනියාවට නුදුරින් පිහිටි හුදකලා දුපතකි

'හිමිකම් උල්ලංඝණය'

පැපුවා නිව්ගිනියාවේ ව්‍යවස්ථාව 42 වැනි පරිච්චේදය මගින් නීති විරෝධී සංක්‍රමණිකයන්ගේ සහ අපරාධ වලට සම්බන්ධ අයගේ හැර අන් සියළු දෙනාගේ පෞද්ගලික නිදහස සනාථ කර තිබේ.

2014 දී පැපුවා නිව් ගිනීයා රජය මගින් ව්‍යවස්ථාවේ 42 වැනි පරිච්චේදයට සංශෝධනයක් සිදු කළේ "වෙනත් රටක් සමග එකඟතාවයෙන් විදේශිකයෙකු රඳවා තබා ගැනීම" යනුවෙන් නව කොටසක් එකතුකරමින්.

එහෙත් 'මිනිසාගේ ආත්මගරුත්වය පිලිබඳ අයිතිය තහවුරු නොවන හෙයින්' අධිකරණය තීන්දුකළේ එම සංශෝධනය ව්‍යවස්ථා විරෝධී බවයි.

සරණාගතයන් සහ අනාථයන් පැපුවා නිව්ගිනියාවට පැමිණියේ ස්වේච්චාවෙන් නොවන බැවින් 'නීතිවිරෝධී සංක්‍රමණිකයන්' යන ස්ථාවරය ඔවුනට අදාළ නොවන බවයි අධිකරණය පවසන්නේ.

ඒ අනුව "සරණාගතයන් පැපුවා නිව්ගිනියාවේ මෙනුස් දූපතේ රඳවා තැබීම ව්‍යවස්ථා විරෝධීයි" යනුවෙනුයි අධිකරණය තීරණය කළේ.

Image copyright Getty Images
Image caption මෙම කඳවුර පැරණි ඕස්ට්‍රේලියානු හමුදා කඳවුරක් බවයි පැවසෙන්නේ

ප්‍රතිපත්තිය 'වෙනස්නොවේ'

මෙනුස් දුපතේ රණදවුම් කඳවුර මුල්වරට විවෘතවූයේ 2001 වසරේ දී එවකට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ජෝන් හාවර්ඩ් ගේ 'පැසිෆික් සොලියුෂන්' නමින් වූ ප්‍රතිපත්තියක් අනුවයි.

2008 වසරේ දී එය වසා දැමුණු අතර සරණාගත ගැටලුව ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්වූ 2012 වසරේ දී ජුලියා ගිලාර්ඩ් යටතේ වූ කම්කරු පක්ෂ රජය විසින් එය නැවත විවෘත කෙරිණි.

කෙසේ වුවද ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන කටයුතු පිලිබඳ අමාත්‍ය පීටර් ඩටන් පැවසුවේ අධිකරණ තීන්දුව හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයන් පිලිබඳ ප්‍රතිපත්තිය වෙනස් නොවනු ඇති අතර ඔවුන් ඔස්ට්‍රේලියාව තුළ නැවත පදිංචි ක්රීමක් සිදු නොවනු ඇති බවයි.

බීබීසී යෙන්

සබැඳි අන්තර්ජාල යොමු

වෙනත් අන්තර්ජාල අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ