1991 සිට දහන දත්ත වංචා කළ බව මිට්සුබිෂි පිළිගනියි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට පසුගිය සතියේ හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ
වසර 1991 සිට මෝටර් රථ නිෂ්පාදන වල දහන දත්ත ව්‍යාජ ලෙස වෙනස් කළ බව මිට්සුබිෂි මෝටර්ස් සමාගම පිළිගෙන තිබේ.
එම සමාගම නිෂ්පාදනය කළ මෝටර් රථ ලක්ෂ හයක ඉන්ධන දහන දත්ත වෙනස් කළ බවට හෙළිදරව් වීමෙන් පසුවයි මෙම නව හෙළිදරව්ව සිදුකර ඇත්තේ.
එම වාහන ජපානය තුළ අලෙවිකළ ඒවා බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය සතියේ සිදුවූ හෙළිදරව්ව පිලිබඳ කෙරෙන පරීක්ෂණ පිලිබඳ කරුණු ඉදිරිපත් කළ එම සමාගමේ සභාපති තෙත්සුරෝ අයිකාවා පැවසුවේ පරීක්ෂණ ඉදිරියට පැවැත්වෙන අතර තවත් මෙවැනි සිදුවීම් සොයා ගත හැකි වනු ඇති බවයි.
අප නොදන්නා තව බොහෝ දේවල් තිබියහැකි බවයි ඔහු පැවසුවේ.
"අපි දන්නෙ නැහැ 'සමස්ථ චිත්‍රය' කොහොමද කියල. ඒක සොයාගන්න තමයි අපි මේ කටයුතු කරන්නෙ" යනුවෙන් තෙත්සුරෝ අයිකාවා පැවසුවේ අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවක දී. තමාට මේ පිළිබඳව විශාල වගකීමක් තිබෙන බවත් කොපමණ මෝටර් රථ සංඛ්‍යාවක් සඳහා මෙසේ ව්‍යාජ දහන දත්ත ඇතුළත් කලේද යන්න නොදන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.
මේ නවතම හෙළිදරව්වත් සමග අඟහරුවාදා සමාගමේ කොටස් 10 % කින් පහළ වැටී තිබෙන අතර ඒ අනුව පසුගිය සතියේ සිට සමස්තය 50% කින් පහත වැටී ඇති බවයි වාර්තාවන්නේ.
ඡායාරූප මූලාශ්‍රය, Reuters
මිට්සුබිෂි සමාගමේ 'ඊ කේ වැගන්' මෙම මෙම දහන දත්ත වංචාව ට ලක්වූ ප්‍රධාන නිෂ්පාදනයක් බවයි පැවසෙන්නේ.
ධාවනය වූ දුර සම්බන්ධ අසත්‍ය දත්ත 'ඊ කේ වැගන් සහ ස්පේස්' (eK wagon and eK Space) මාදිලියේ මෝටර් රථ එක්ලක්ෂ පනස් හත් දහසක ද, නිසාන් සමගම සඳහා නිපද වූ ඩේස් සහ ඩේස් (Dayz and Dayz Roox vehicles) හාරලක්ෂ හැට අට දහසක ද ඇතුලත්කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා මිට්සුබිෂි සමගම විසින් පත්කර ඇති බාහිර නීතිඥවරුන් තිදෙනෙකුගෙන් යුත් කමිටුව විසින් මාස තුනක් ඇතුළත වාර්තාවක් ලබා දීමට නියමිත ව තිබේ.
ඉහත කී වාහන මාදිලි වල නිෂ්පාදන සහ විකිණීම් අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.