පැරිස් ප්‍රහාරයේ සැකකරු බෙල්ජියමෙන් පිටුවහල් කෙරෙයි

Images of Salah Abdeslam Image copyright Belgian/French police
Image caption අබ්දෙස්ලාම් අත්අඩංගුවට ගැනුණේ සති හයකට පමණ පෙර බ්‍රසල්ස් නුවර සිදු කළ ආරක්ෂක මෙහෙයුමකිනි

ප්‍රංශයේ දී අධිකරණය හමුවට පැමිණවීම පිණිස පැරිස් ප්‍රහාරයේ සැකකරු සලේ අබ්දෙස්ලාම් බෙල්ජියමෙන් පිටුවහල් කර ඇත.

පැරිස් ප්‍රහාරයෙන් පසු මාස හතරක කාලයක් සැඟවී සිටි අබ්දෙස්ලාම් පසුගිය මාර්තු 18 වැනිදා බ්‍රසල්ස් නුවර සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත්විය.

බ්‍රසල්ස් නුවර දී උපත ලබා ඇති වයස අවුරුදු 26 ක ප්‍රංශ ජාතිකයෙකු වන ඔහු පැරිස් නුවරට එල්ල කළ ප්‍රහාරයට පෙර ජීවත් වී ඇත්තේ බ්‍රසල්ස් නුවරයි.

නොවැම්බර් 13 වැනිදා ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායමක් විසින් පැරිස් නුවර සිදුකළ ප්‍රහාර වලින් පුද්ගලයන් 130 දෙනෙකු මියගොස් තවත් පිරිසකට තුවාල සිදුවිය.

නීතිඥවරු පැවසුවේ අද (27) උදෑසන අබ්දෙස්ලාම් ප්‍රංශ බලධාරීන් වෙත භාරවුණු බවයි. (ප්‍රංශය විසින් 2016 මාර්තු 19 වෙනිදා නිකුත් කරන ලද 'යුරෝපා වරෙන්තුව' අනුවයි අබ්දෙස්ලාම් මෙසේ ප්‍රංශයට යැවෙන්නේ)

මෑතක දී අබ්දෙස්ලාම් බර්ජස් වල පිහිටි සිර කඳවුරක සිට බෙවෙරෙන් හි පිහිටි අධි ආරක්ෂක සිර කඳවුරක් වෙත රැගෙන ගිය නමුත් ඔහු රැගෙන යන්නේ ප්‍රංශයේ කොතනකටදැයි පැහැදිලි නැත.