ජර්මන් AfD පක්ෂයට විරෝධය පෑ සියගණනක් අත්අඩංගුවට

Image copyright Reuters
Image caption AfD පක්ෂ ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් පුළුස්සමින් පොලු සහ යකඩ බට රැගෙන පක්ෂ සාමාජිකයන් ගොඩනැගිල්ලට ඇතුළු වීම වළක්වන්නට උත්සාහ කළ උද්ඝෝෂකයන් දෙසට පොලීසිය පැමිණි අයුරු

ජර්මනියේ දක්ෂිණාංශික 'ඔල්ටර්නේටිව් ෆර් ඩොයිෂ්ලෑන්ඩ්'(AfD) පක්ෂයට එරෙහිව දියත්කෙරුණු විරෝධතාවකදී පොලීසිය විසින් සියගණනක් පිරිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ටට්ගාර්ට් (Stuttgart) නගරයේ පැවති AfD පක්ෂ සම්මේලනයට ආරක්ෂාව දීම පිණිස දහසකට වැඩි පොලිස් භටයන් පිරිසක් යොදා තිබුණි.

සම්මේලනය පැවති ගොඩනැගිල්ල ඉදිරිපිට ටයර් පුළුස්සමින් පොලු සහ යකඩ බට රැගෙන පක්ෂ සාමාජිකයන් ගොඩනැගිල්ලට ඇතුළු වීම වළක්වන්නට උත්සාහ කළ උද්ඝෝෂකයන් වෙත පොලීසිය ගම්මිරිස් වායුව එල්ල කළ බවයි වාර්තා වන්නේ.

Image copyright EPA
Image caption AfD පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ බවයි පැවසෙන්නේ

AfD පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සඳහා ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබූ අතර ඡන්දය හිමි පක්ෂ නියෝජිතයන්ගෙන් ඇතැමෙකුට ප්‍රසිද්ධියේ ඉස්ලාම් විරෝධී මතවාදය රැගෙන ඒමට අවශ්‍යව තිබුණි.

එම පක්ෂ නියෝජිතයනට අවශ්‍යව තිබුණේ බුර්කාව, මුස්ලිම් පල්ලි වල ගෝලාකාර අටල්ල සෑදීම සහ යාඥාව සඳහා ආරාධනා කරමින් හඬ නගා කෙරෙන ගායනාව යන දෑ තහනම් කිරීමටයි.

AfD පක්ෂයේ මෑත කාලීන ප්‍රාදේශීය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලදී ඉස්මතුවී ආවේ ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් ගේ සිරියානු සංක්‍රමණිකයන් සඳහා විවෘත ප්‍රතිපත්තිය ට එරෙහිවූ මතවාදයකි.