ඉන්දියානු ගුරු ගීතය

ඡායාරූප මූලාශ්‍රය, Mansi Thapliyal
ගුල්දස්තා පාසලේ දී ළමුන්ට ඉංග්‍රීසි, විද්‍යාව, ගණිතය, සහ පරිසරය යන විෂයන් උගන්වනු ලැබේ
පැරණි සංස්කෘත සාහිත්‍යයේ ගුරු යන වචනය විග්රහ කොට තිබෙන්නේ යහපතේ යෙදවීම, පාපයෙන් මිදවීම සහ පැවැත්ම ලෙසයි.
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එකී විග්‍රහය ක්රියාවේ යොද වන අසූ එක් වියැති ගුරු මවක් පිළිබඳ වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්.
විම්ලා කාවුල් රජයේ පාසල් ගුරු සේවයෙන් විශ්‍රාම ගනු ලැබුවේ වසර විස්සකට ඉහතදී.
විශ්‍රාම සුව විඳීම පසෙක තැබූ ඇය එතැන් පටන් මේ දක්වා දිල්ලි අගනුවර අඩු වරප්රසාදිත දරුවන්ට අකුරු කරවනු පිණිස සිය සැඳෑ විය කැප කරමින් සිටින්නීය.
'ගුල්දස්තා' පාසල තුළ ළමුන් දොළොස් දෙනෙක් ඉගෙනුම ලබති.
පිරිමි ළමුන් එකොළොස් දෙනකු සහ එක් දැරියක් ඒ අතර වෙති.
කුඩා ප්‍රමාණයේ පන්ති කාමරයක බිම වාඩි වී සිටින මේ දරුදැරියන් විසින් චිත්‍රයට නැගූ සිතුවම්, බිත්තිවල අපවිත්‍ර වූ සහ කඩතොළු වූ තැන් සැඟවීමේ උත්සාහයක යෙදී සිටිති.
හෝඩිය
විම්ලා කාවුල් ගුරුතුමිය විසින් තක්සලාවක් බවට පරිවර්තනය කරන ලද කුඩා ප්‍රමාණයේ කාමර හතරකින් සමන්විත ගොඩනැගිල්ල සාමාන්‍යයෙන් කම්කරුවන්ට අඩු මුදලකට ලැගුම් පහසුකම් සපයන ගොඩනැගිල්ලකට සමාන වේ.
'A අකුරෙන් ඇප්රිකට්, B අකුරෙන් බ්ලැක්බෙරි', කුඩා පන්ති කාමරය තුළ ඉගනුම ලබන ළමෝ ඉංග්‍රීසි හෝඩිය හඬ නගති.
ඉංග්‍රීසි හෝඩියේ අවැසි අකුරු දැක්වෙන ඇතැම් පලතුරු මේ දරුවන්ගේ ජීවිතවලට සම්පූර්ණයෙන්ම ආගන්තුක වූවක්.
ඒ අතර සිටින එක් කුඩා පිරිමි ළමයකුගේ කමිස අත ඉරී ගොස් ඇති අතර පන්තියේ සිටින තුන් වියැති ළාබාලතම සාමාජිකයා තමාට වඩා මදක් වයසැති සිය සොහොයුරාට පහර දෙයි.
මේ දරුවන්ගේ දෙමව්පියන් බොහොමයක් පාරෙන් එපිට පිහිටි මධ්‍යම පාන්තික නිවෙස්වල මෙහෙකාරියන් හෝ රියදුරන් ලෙස සේවය කරති.
පන්ති කාමරය තුළ සිටින සිය සිසු සිසුවියන්ගේ අභ්‍යාස කටයුතු විම්ලා කාවුල් ගුරුතුමියගේ නිරීක්ෂණයට ලක් වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Mansi Thapliyal
කුඩා කාමරයක හිඳ අකුරු උගනින ළමුන්
නිසි මඟ කියාදී
'මේ වගේ සුළු වැරදි නැවත සිදු කරන්න එපා.' ශිෂ්‍යයකුට නිසි මඟ කියා දෙන විම්ලා කාවුල් ගුරු මෑණියන් 'ඉතා හොඳයි' යනුවෙන් පවසමින් ඔහුගේ සෙසු අභ්‍යාස පැසසුමට ලක් කරන්නීය.
සිය සිසු සිසුවියන් වෙනුවෙන් ඉහළ ප්‍රමිතියක් පවත්වා ගැනීමට විම්ලා කාවුල් ගුරුතුමිය උත්සාහ කරන්නීය.
'අපි කිසිවකුත් ආපසු හරවා හරින්නේ නැහැ. නමුත් ළමයාගේ ඉගැනුම් මට්ටම මැන බැලීම සඳහා අපි ඇතුළත් වීමේ පරීක්ෂණයක් පවත්වනවා. පන්ති විභාග පරීක්ෂණ වලදී ඔවුන් අඩු දක්ෂතා දක්වනවා නම් අපි ඔවුන් ඒ ශ්‍රේණියේම රඳවා ගන්නවා' ඇය පවසනීය.
'ඔවුන්ට නිසි ආකාරයට අධ්‍යාපනය ලබා දීමයි වැදගත්ම දේ'
මීට වසර දෙකකට ඉහතදීත් දරුවන්ට අකුරු කර වීම සඳහා ඇය යොදා ගත්තේ නගරසභාවට අයත් එළිමහන් භූමියක්.
'ග්‍රීස්ම කාලයට එළිමහන උණුසුම් වැඩියි. සීත කාලෙට සීතල වැඩියි. නමුත් ඉන් වැඩි යමක් කරන්න අපට අවශ්‍ය මූල්‍ය පහසුකම් තිබුණේ නැහැ' ගුල්දස්තා පාසලේ උගන්වන ගුරුවරියක් කියා සිටින්නීය.
දුෂ්කර ගමනක්
තමන් විසින් අරඹනු ලැබූ පුණ්‍ය කටයුත්තට ප්‍රදේශයේ ඇති හැකි අය සහාය ලබා දෙනු ඇතැයි තමා එවකට විශ්වාස කළ බව අසූ එක් වියැති ගුරු මෑණියන් සිහිපත් කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Mansi Thapliyal
පන්තියේ කුඩාම දරුවාගේ වයස අවුරුදු තුනකි
'මම හිතපු විදිහ වැරදියි' ඇය සිනහවකින් මුව සරසා ගන්නීය.
ප්‍රදේශයේ ප්‍රජා මධ්‍යස්ථානය තුළ පාසල පවත්වාගෙන යාමට ඇය ගත් උත්සාහයද අසාර්ථක වී ඇත.
ඉන් අනතුරුව ප්‍රජා මධ්‍යස්ථාන පරිශ්‍රයට අයත් උද්‍යානය වෙත ගොස් එහි හිඳිමින් දරුවන්ගේ නැණස පැදීමට ගත් උත්සාහයද ව්‍යර්ථ වන්නේ දරුවන්ගේ කෑ කෝ ගැසීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමත් සමගයි.
සිය පාසල පවත්වාගෙන යෑම සඳහා නගර සභාවට අයත් එළිමහන් භූමිය ඇය විසින් තෝරා ගනු ලබන්නේ ඉන් අනතුරුවයි.
එහි සිට පුරා වසර දහයක් ඇය මේ අඩු වරප්රසාදිත දරුවන්ට නිසි මඟ පෙන්වීමට සිය කාලය වැය කළාය.
ඉන් අනතුරුව ඇයගේ මේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය නොවන සංවිධානයක සහාය හිමි වී තිබේ.
ආත්මාර්ථකාමී සමාජය
'මේ මිනිස්සු ඉහළට යන එක දකින්න අකමැති ආත්මාර්ථකාමීත්වය උරුම කර ගත් යම් පිරිසක් අපේ මේ සමාජය තුළ ඉන්නවා. නැත්නම් කොහොමද ඔවුන්ට මෙහෙකාරියන් සොයා ගන්නේ?' ඇය ප්‍රශ්න කරන්නීය.
'ඉතාමත් දක්ෂ ශිෂ්‍යාවකට මම ඉගැන්නුවා . ගෙවල්වල වැඩට ගොස් ඇයගේ මවට උදව් කරන්න සිදු වූ නිසා ඒ දරුවාට පාසලෙන් ඉවත් වෙන්න සිදු වුනා. ඇයගේ අධ්‍යාපනය එතනින් අහවර වුනා' විම්ලා කාවුල් ගුරුතුමිය සොවින් පවසන්නීය.
දෙමව්පියන්ට මුදල් නොමැතිකම හෝ කාලය වැය කිරීමට හැකියාවක් නොමැතිකම හේතුවෙන් ඇතැම් දරුවන්ට නිසි ආහාරයක් නොමැති බවත් ඇය සඳහන් කරන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, Mansi Thapliyal
ගුල්දාස්තා පාසල මෙතෙක් ආ මග රැඳී ඇත්තේ කාවුල් ගුරු මව සහ ඇයගේ ස්වාමි පුරුෂයාගේ අධිෂ්ඨානශීලී දිරිය ශක්තිය මතයි
විම්ලා කාවුල් ගුරුතුමිය විසින් අධ්‍යාපනය ලබා දෙන ලද ශිෂ්‍යාවන් දෙදෙනෙක් මේ වන විට ගුල්දස්තා පාසලේම ගුරු සේවයේ යෙදෙති.
අධිෂ්ඨානය
ඉන් එක් අයකු පරිගණක විද්‍යා උපාධිධාරිනියක්.
'එක් ළමයකු හෝ ඉහළට ඔසවා තබන්න හැකි නම් , මට එය හොඳටම ප්‍රමාණවත්. ජීවිතයේ පසු කාලෙක හැරී බැලූ විට සතුටුදායක මතකයක්, ඔවුන්ට ළමා විය ලබා දෙන්නයි ඇත්තටම මට අවශ්‍ය.' අසූ එක් වියැති විම්ලා කාවුල් ගුරු මෑණියන් පවසන්නීය.
"ඔව්,ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තයි" චිංගීස් අයිත්මාතව්ගේ 'ගුරු ගීතයේ' එන දුයිශෙන් නම් ගුරු පියා විසින් අල්තිනායි නම් වූ දැරියගේ ඉරණම වෙනස් කළා සේ මේ අසූ එක් වියැති ගුරු මෑණියන් විසින්ද එවැනි දරුවන් බොහෝ පිරිසකගේ ඉරණම වෙනස් කොට ඇත.
(බීබීසීයේ අයේෂා පෙරේරාගේ වාර්තාවක් ඇසුරෙන්)