තොරතුරු පනත: 'වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණියි'

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත
Image caption සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ අඩංගු වගන්ති කීපයක් ව්‍යවස්ථාවට පටහැණි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කථානායකවරයාට දන්වනු ලැබ තිබේ.

ඉහත කී වගන්ති සංශෝධනය නොකොට අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3 ක සහාය ලැබිය යුතු බවයි කථානායක කරු ජයසූරිය සභාව හමුවේ ප්‍රකාශ කළේ.

ව්‍යවස්ථාවට පටහැණි බව සඳහන් වගන්ති ඉවත් කරන්නේ නම් එය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයක කැමැත්ත පමණක් ප්‍රමාණවත් බව කථානායකවරයා කියා සිටියේය.

තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අදාළ පනතට අනුමැතිය ලැබිය යුතු බව තීන්දු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගියදා පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබිණ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පත ලෝකයේ 'හත් වන හොඳම තොරතුරු දැන ගැනීමේ පනත' ලෙස අන්තර්ජාතික සංවිධාන විසින් නම් කොට ඇති බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය රංග කලන්සූරිය මීට ඉහතදී බීබීසී සංදේශයට කියා සිටියේ.

බීබීසී යෙන්