ප්‍රේමයට උදව් කළ පාකිස්තාන් දැරිය පුළුස්සා මරා දැමෙයි

Image copyright Getty Images

ඊසානදිග පාකිස්තානයේ කයිබර් පක්තුන්ක්වා පළාතේ ජිර්ගා ගම්සභා නායකයන් දැරියක හුස්ම හිර කොට පුළුස්සා මරා දැමීමට නියෝග කර ඇති බව එරට පොලිසිය පවසයි.

පොලිසිය වැඩි දුරටත් කියා සිටියේ සිය පාසල් මිතුරියකට තරුණයකු සමග ගෙදරින් පලා යාමට උදව් කළ බවට චෝදනා ලද වයස අවුරුදු පහළොවක දැරිය මෙලෙස කෘර ලෙස මරා දැමීමට ගමේ වැඩිහිටි නායකයන් අණ ලබා දී ඇති බවයි.

දැරිය ඇයගේ ගෙදරින් පැහැර ගනු ලැබ ඇති අතර පසුව ඇගේ ගෙල සිරකොට පුළුස්සා මරා දමා තිබේ.

මේ වන විට සමාජ මාධ්‍ය පුරා දැරියගේ පිළිස්සුනු මල සිරුරේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් වී ඇත.

මව අත්අඩංගුවට

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව පවසන පාකිස්තාන් පොලිසිය කියා සිටියේ මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින සැක කරුවන් අතරට ගම්සභාවේ නායකයකු සහ ඝාතනය කෙරුණු දැරියගේ මව ඇතුළත් වන බවයි.

මරා දැමුණු දැරියගේ උදව් ලබා නිවසින් පැන ගිය බවට සැක කරන ඇයගේ පාසල් මිතුරිය සහ පෙම්වතා විවාහ වී ඇති බවට විශ්වාස කරන බවයි පොලිසිය පවසන්නේ.

රෝහල් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දැරියගේ මල සිරුර මේ වන විට ඇයගේ ඥාතීන්ට භාර දී ඇති බවයි පාකිස්තාන් ජනමාධ්‍ය වාර්තා කරන්නේ.

සබැඳි විෂයයන්