සිරියානු අනාත කඳවුරට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර 'යුද අපරාධයක්'

වීඩියෝ ශීර්ෂ වැකිය,

"War found them again.": The BBC's Lyse Doucet reports on the aftermath

විසි අට දෙනෙකුට මරු කැඳවමින් සිරියාවේ අනාත කඳවුරට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර 'යුද අපරාධයක්' ලෙස සැලකිය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජේෂ්ඨ නිලධාරියෙකු පවසයි.

සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයේ පිහිටුවා තිබූ කමොවුනා අනාත කඳවුරට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානුෂීය සම්බන්ධතා පිළිබඳ ප්‍රධානී ස්ටීවන් ඕ බ්‍රයන් ඉල්ලීමක් කර තිබේ.

කැරලිකරුවන් විසින් පාලනය ගෙනයන ප්‍රදේශයේ පිහිටි මෙම අනාත කඳවුරට එල්ල කෙරුණු ගුවන් ප්‍රහාර වලට සිය හමුදා සම්බන්ධ නොවූ බව සිරියානු රජයේ හමුදා ප්‍රකාශයක් කළත්, ප්‍රහාරය එල්ල කළ බවට චෝදනා එල්ල වී තිබෙන්නේ සිරියානු රජයට සහ රුසියානු හමුදාවටයි.

සටන් විරාමය තවදුරටත් දීර්ඝ කිරීමට එකඟතාව පළ වීමෙන් දිනකට පසුවයි මෙම ගුවන් ප්‍රහාර එල්ල වී තිබෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රුසියාවේ මැදිහත් වීමෙන් ජිහාඩි නොවන කැරලිකාර කණ්ඩායම් සහ සිරියානු රජය දැඩි සටන් පැවති අලෙප්පෝ නුවර අවට සටන් විරාමයක් ඇති කිරීමට පසුගියදා එකඟතාව පළ කළහ.

කෙසේ වෙතත් සිරියානු මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය වාර්තා කළේ අලෙප්පෝ නගරය අවට සිරියානු රජයේ හමුදා සහ අල්කයිඩා සංවිධානයට අනුබද්ධ ජිහාඩි කැරලිකාර කණ්ඩායම අතර පැවති දරුණු සටන හේතුවෙන් දෙපාර්ශවයේම පුද්ගලයන් හැත්තෑවකට ආසන්න පිරිසක් ඝාතනය වී ඇති බවයි.

සිරියාව පුරා විවිධ ප්‍රදේශ වල පසුගිය පෙබරවාරියේ සිට දරුණු ගැටුම් ඇති වූ අතර විශේෂයෙන්ම අලෙප්පෝ නුවර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ වල හටගත් සටන් හේතුවෙන් පසුගිය සති දෙකක කාලය තුල මියගිය පුද්ගලයන් ප්‍රමාණය තුන්සීයකට අධික බවයි විශ්වාස කෙරෙන්නේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

දැඩි සටන් පවතින සිරියාවේ අලෙප්පෝ නගරයේ වීදියක දර්ශනයක්.