බීබීසී මාධ්‍ය කණ්ඩායම උතුරු කොරියාවෙන් පිටමං කෙරෙයි

BBC correspondent Rupert Wingfield-Hayes in North Korea
ඡායාරූප ශීර්ෂ වැකිය,

රූපට් වින්ෆීල්ඩ් හේස් ඇතුළු බීබීසී කණ්ඩායම උතුරු කොරියානු පාලක පක්ෂ සම්මේලනය වාර්තා කිරීම පිණිස එහි ගොස් සිටියහ

රූපට් වින්ෆීල්ඩ් හේස් ඇතුළු බීබීසී මාධ්‍යවේදීන් කණ්ඩායම ඔවුන්ගේ වාර්තා කිරීම් සම්බන්ධයෙන් රඳවාගනු ලැබ සිටීමෙන් අනතුරුව උතුරු කොරියාවෙන් පිටමං කර තිබේ.

සිකුරාදා ඔහු ඇතුළු බීබීසී යේ උතුරුකොරියා වර්තාකාරිණිය ලෙස කටයුතු කළ මරියා බර්න් සහ කැමරා ශිල්පී මැතිව් ගොඩාර්ඩ් ගේ වාර්තාකරණ කටයුතු උතුරු කොරියානු නිලධාරීන් විසින් නවතාලනු ලැබ ඇති අතර දැන් ඔවුන් එරටින් පිටවීමට සුදානම් වී සිටිති.

වින්ෆීල්ඩ් ගෙන් පැය අටක කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු ප්‍රකාශයකට අත්සන් තැබීමට සිදුවී ඇත.

බීබීසී මාධ්‍යවේදීන් තිදෙනා සති අන්තය පුරා රඳවාගෙන සිට දැන් ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

සඳුදා උදෑසන විදේශ මාධ්‍යවේදීන් සහභාගී වූ මාධ්‍ය හමුවක දී උතුරු කොරියානු බලධාරීන් චෝදනා කළේ බීබීසී කණ්ඩායම විසින් තම රට පිලිබඳ වැරදි තොරතුරු වාර්තාකරමින් සිටි බවයි.

වසර 40 කට පසු පැවැත්වෙන උතුරුකොරියා පාලක කම්කරු පක්ෂයේ පක්ෂ සම්මේලනය වාර්තා කිරීම සඳහා විදේශ මාධ්‍ය වලට ඇරයුම් කර තිබුණි.

එම මාධ්‍ය කණ්ඩායම් නිල චාරිකාවල රැගෙන ගොස් තිබුනද මේ දක්වා සැබෑ පක්ෂ සම්මේලන ශාලාවට ඇතුළුවීමේ අවස්තාව ලබා දී නැති බවයි වාර්තා වන්නේ.