යුරෝපා හවුලෙන් ඉවත් වුනොත් ආරක්ෂාව අනතුරේ-කැමරන්

david cameron
ඡායාරූප ශීර්ෂ වැකිය,

බ්‍රිතාන්‍ය අගමැති කැමරන්

ලබන ජුනි මාසයේ 23 දින පැවැත්වෙන ජනමත විචාරණයේ දී බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් විය යුතු යයි මහජනයාගේ වැඩි ඡන්දයෙන් තීන්දු කෙරුනොත් එම තීරණය යුරෝපයේ සාමය සහ ආරක්ෂාව අනතුරට ඇද වැටීමට හේතු විය හැකි බවට අගමැති ඩේවිඩ් කැමරන් අනතුරු ඇඟවීමක් කරයි.

ආරක්ෂාව අතින් එල්ල වෙමින් පවතින තර්ජනය මැඩලීමට බ්‍රිතාන්‍යය විසින් ගනු ලබන උත්සාහයේ දී යුරෝපා හවුලේ සාමාජිකත්වය අත්‍යවශ්‍ය කරුණක් වන බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් වෙන් වුනොත් රට යළිත් ජාතිකවාදීන් අතර ගැටුම්කාරී තත්වයක් සහිත යුගයකට ඇද වැටිය හැකි බවත් අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියි.

අගමැතිවරයාගේ එම අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන එක්සත් රාජධානියේ නිදහස් පක්ෂය (UK Independence Party) පවසන්නේ 'යුරෝපා හවුල සාමය තහවුරු කිරීමට නොව ප්‍රජාතන්ත්‍රවාදය මැඩලමින් යුරෝපය අභ්‍යන්තරයේ එදිරිවාදිකම් වැඩි වීමට හේතුවක් වී' ඇති බවයි.

බ්‍රිතාන්‍යය යුරෝපා හවුලින් ඉවත් විය යුතුය යන මතයේ සිටින සන්නද්ධ හමුදා භාර ඇමති පෙනී මොර්ඩන්ට් (Penny Mordaunt) මේ අතර ප්‍රකාශයක් කරමින් යුරෝපා හවුල මගින් ආරක්ෂාවක් සැලසෙන්නේ නැති බවයි කියා සිටියේ.