පාකිස්තානයේ හිටපු අගමැතිගේ පැහැර ගත් පුතු මුදා ගැනෙයි

පාකිස්තානයේ අගමැති ධුරය හෙබවූ යූසෆ් රාසා ගිලානිගේ බාලම පුතු වන්නේ අලී හෙයිදර් ගිලානියි.
පැහැර ගැනීමට ලක්ව සිටි පාකිස්තානයේ හිටපු අගමැති යූසෆ් රාසා ගිලානිගේ පුතු ඇෆ්ගනිස්තාන සහ ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින් ඇෆ්ගනිස්තානයේදී මුදවා ගෙන තිබේ.
පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු පකිස්තානය වෙත රැගෙන ඒමට නියමිත බවයි පාකිස්තාන බලධාරීන් පවසන්නේ.
අලී හෙයිදර් ගිලානි මින් වසර තුනකට ඉහතදී පාකිස්තාන මහජන පක්ෂය වෙනුවෙන් මුල්ටාන් නගරයේ මැතිවරණ ප්‍රචාරණයේ යෙදී සිටියදී පැහැර ගැනීමට ලක් විය.
තාලිබාන් සංවිධානය විසින් ඔහුව පැහැර ගත් බවටයි සැක පහළ වී තිබුනේ.
පාකිස්තාන මහජන පක්ෂයේ සභාපති බිලාවල් බූතෝ ට්විටර් වෙබ් අඩවියේ පණිවුඩයක් පළ කරමින් කියා සිටියේ සාර්ථක හමුදා මෙහෙයුමකින් පැහැර ගැනීමට ලක් වූ සිය සාමාජිකයා බේරා ගැනීමට හැකිව ඇති බවයි.
තුරුම්පුවක් ලෙස
2008 සිට 2012 දක්වා පාකිස්තානයේ අගමැති ධුරය හෙබවූ යූසෆ් රාසා ගිලානිගේ බාලම පුතු වන්නේ අලී හෙයිදර් ගිලානියි.
2013 වසරේ පන්ජාබ් ප්‍රාදේශීය සභාවේ ආසනයක් වෙනුවෙන් පාකිස්තාන මහජන පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතව සිටි අලී හෙයිදර් ගිලානි පැහැර ගැනීමට ලක් වූයේ 2013 මැයි මාසයේ මැතිවරණ රැලියකට සහභාගී වෙමින් සිටියදී නාදුනන තුවක්කු කරුවෙකු විසිනි.
එවකට පාලක පක්ෂයව සිටි පාකිස්තාන මහජන පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයන්ට තර්ජන එල්ල කළ පාකිස්තානයේ ක්‍රියාත්මක තාලිබාන් සංවිධානයට මෙම පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
පාකිස්තානය පුරා විසිර සිටින කැරලි කණ්ඩායම් ඉතා සුලබව භාවිතා කරන උපක්‍රමයක් ලෙස රජයේ බලධාරීන් සහ ප්‍රසිද්ධ චරිත පැහැර ගැනීම සිදු කරයි. ඔවුන් මෙම පැහැර ගැනීම් හරහා සිය කණ්ඩායම් වලට අවශ්‍ය මුදල් ලබා ගැනීමට කප්පම් ඉල්ලීමටත් බලධාරීන් ලවා සිය ඉල්ලීම් ඉටු කරවා ගැනීමට තුරුම්පුවක් ලෙස භාවිතා කරයි.