සමාව එපා දූෂිත වත්කම් ආපසු දෙන්න-ජනාධිපති බුහාරි

mohammadu buhari
ඡායාරූප ශීර්ෂ වැකිය,

ජනාධිපති මොහම්මදු බුහාරි

නයිජීරියාව අදහා ගැනීමට පවා අසීරු මට්ටමින් දූෂණ වලින් ගහන රටක් වී ඇති බවට බ්‍රිතාන්‍ය අගමැතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරන එරට ජනාධිපති මුහම්මදු බුහාරි එම ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිවකුගේ සමාව ඉල්ලීමක් නොව තමා වෙනත් දෙයක් අපේක්ෂා කරන බව කියා සිටියි.

නයිජීරියානු නායකයා එම ප්‍රකාශය කළේ ලන්ඩන් නගරයේ පැවැත්වෙන දූෂණ මැඩලීම තේමාව කර ගත් සමුළුවක් අමතමිනි.

නයිජීරියාවේ මහාපරිමානයේ දූෂණ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ප්‍රකාශයක් කර තිබුණේ එලිසබත් රැජින හමු වූ අවස්ථාවකයි.

කැන්ටබරියේ අගරදගුරු හිමියන් සහ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ කථානායකවරයාත් සහභාගී වූ එම හමුවේ දී අගමැති කැමරන් කළ ප්‍රකාශය වීඩියෝ ගත කරනු ලැබ ප්‍රචාරය වීමෙන් අනතුරුවයි නයිජීරියානු ජනාධිපතිවරයා ඔහුගේ ප්‍රතිචාරය පළ කළේ.

තමාට අවශ්‍ය කරන්නේ සමාව ඉල්ලීමක් නොව සොරකම් කරන ලදුව බ්‍රිතාන්‍ය බැංකුවල තැන්පත් කරනු ලැබ ඇති දූෂිත වත්කම් ආපසු සිය රටට භාර දීම වන බවයි ජනාධිපති මුහම්මදු බුහාරි කියා සිටින්නේ.

අගමැති කැමරන් සහ ජනාධිපති බුහාරි
ඡායාරූප ශීර්ෂ වැකිය,

අගමැති කැමරන් සහ ජනාධිපති බුහාරි

නයිජීරියාව ඉතාම දුෂ්කර දූෂණ අපචාර වලින් පීඩාවට පත්ව සිටින බව ඔහු පිළිගනියි.

එහෙත් ඒවා මැඩලීමට යෝධ ප්‍රයත්නයක් දරමින් සිටින බවයි ජනාධිපති බුහාරි කියා සිටින්නේ.

ට්‍රාන්ස්පේරන්සි ජාත්‍යන්තරය විසින් සිදු කරන ලද ක්‍රමාංකකරණය අනුව දූෂණ සිදු වීමේ මට්ටම දැක්වෙන දර්ශකයේ නයිජීරියාවට හිමි වන්නේ 136 වැනි ස්ථානයයි.

අද්භූත සත්වයෙක්

සිය කතාවේ දී තව දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මුහම්මදු බුහාරි දූෂණ අපචාරය විග්‍රහ කළේ 'විනාශ කළ නොහැකි හිසක් සහිත අද්භූත සත්වයකු' හැටියටයි.

devid cameron
ඡායාරූප ශීර්ෂ වැකිය,

අගමැති කැමරන් නයිජීරියාවේ දූෂණ ගැන කතා කළේ එලිසබත් රැජින මුණ ගැසුන මෙම හමුවේ දී.

එම බිහිසුණු අද්භූත සත්වයා රටවල ආරක්ෂාවට තර්ජනයක් යයි කියා සිටි නයිජීරියානු නායකයා සංවර්ධිත හෝ සංවර්ධනය වෙමින් පවතින ආදී භේදයකින් තොරව හැම රටකම එය බලපැවැත්වෙන බවයි පෙන්වා දුන්නේ.

අගමැති ඩේවිඩ් කැමරන්ගේ ආරාධනයෙන් පැවැත්වෙන දූෂණ විරෝධී ජාත්‍යන්තර සමුළුව හෙට බ්‍රහස්පතින්දා නිල වශයෙන් ආරම්භ කෙරෙන අතර ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම සමුළුව නියෝජනය කරයි.