බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂුවක් කපා කොටා මරා දැමෙයි

ගිනිකොන දිග දිස්ත්‍රික්කයේ බන්දාබන් හි දී 75 වියැති බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.

විහාරස්ථානය තුළ තිබී උන් වහන්සේ ගේ සිරුර හමුවූ බවයි නිලධාරියෙකු පැවසුවේ.

බංග්ලාදේශයේ සුළු ආගමික කණ්ඩායම්, අනාගමික ක්‍රියාධරයන් සහ අධ්‍යාපනඥයින් කපා කොටා මරාදැමීම් මාලාවක නවතම ඝාතනය වන්නේ මෙයයි.

පසුගිය වසර 3 තුළ දී පමණක් ඉස්ලාම්වාදීන් යැයි සැක කෙරෙන පිරිස් විසින් පුදගලයන් 20 දෙනෙකුට වඩා මේ ආකාරයෙන් ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ධකා නුවරින් සැතපුම් 220 ක් ගිනිකොණ දෙසට පිහිටා ඇති බයිශාරි හි ඇති බෞද්ධ විහාරස්ථානයට පැමිණි පුද්ගලයන් හතර දෙනෙකු විසින් මෝන් ෂූ ඌ චක් හිමියන්ට මෙසේ ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

Image caption බටහිර බංග්ලාදේශයේ රාජ්ශාහි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඒ එෆ් එම් රෙසෞල් කරීම් සිද්දික් නමැති 58 හැවිරිදි මහාචාර්යවරයාද මෙලෙස මරා දමා තිබුණි

අප්‍රේල් මාසයේ දී විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු, නීති ශිෂ්‍යයෙකු සහ සමලිංගික ක්‍රියාධරයන් දෙදෙනෙකු ද මෙසේ කපා කෝටා ඝාතනය කොට තිබුණි.

පෙබරවාරි මාසයේ දී උතුරු බංග්ලාදේශයේ හින්දු පුජකවරයෙකු ගේ හිස කඳින් වෙන්කර මරා දමා තිබුණි.

ඇතැම් ඝාතනයන් ගේ වගකීම භාරගෙන තිබුණේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට අයත් කණ්ඩායම් සහ අල් ඛයිදා සංවිධානයට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් විසින්.

ඉස්ලාම් රාජ්‍ය කණ්ඩායම් විසින් ෂියා මුස්ලිම් දේවස්ථාන සහ පල්ලි වලට එල්ල කළ ප්‍රහාර වලින් ඉතාලි ජාතික සහන සේවකයෙකු සහ ජපන් ජාතික කෘෂිකර්ම විශේෂඥයෙකු ද මරා දමා තිබුණේ පසුගිය වසරේ දීය.

මේ මස මුල දී සිංගප්පුරුව විසින් බංග්ලාදේශ ජාතිකයන් අට දෙනෙකු පිටුවහල් කොට තිබුණේ 'බංග්ලාදේශ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය' -'Islamic State in Bangladesh (ISB)' නමින් සංවිධානය වී ප්‍රහාරයන් සැලසුම් කළ බවට චෝදනාකරමින්.

එසේවුවද රට තුළ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය ක්‍රියාත්මක වීම බංග්ලාදේශ රජය ප්‍රතික්ෂේප කර තිබේ.

මුස්ලිම් ප්‍රජාව වැඩි වශයෙන් ජීවත්වන බංග්ලාදේශය නිලවශයෙන් අනාගමික රටක් ලෙස ප්‍රක්ෂයට පත් කර තිබුණද විවේචකයන් පවසන්නේ මෙවැනි ප්‍රහාර නැවැත්වීම සඳහා සුදුසු පියවර ගැනීමට රජය අපොහොසත් වී ඇති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්