කෘරත්වයට එරෙහි කවිත්වය 'තවමත් ලංකාවට ආගන්තුකයි'

ඡායාරූප මූලාශ්‍රය, Amnesty International
ලෝක යුද්ධ ඇතුළු ලොව පුරාම ඇතිවුණු කෘරත්වයන්ට විරුද්ධව මතු වුනු විසි වෙනි සියවසේ කවිත්වය තවමත් ශ්‍රී ලංකාවට ආගන්තුක බව සම්මානලාභී ශ්‍රී ලාංකීය කවියෙක් ප්‍රකාශ කරයි.
ආසියානු මානව හිමිකම් කොමිසමේ බැසිල් ප්‍රනාන්දු ඒ බව පවසන්නේ අතුරුදහන් වූවන් වෙනුවෙන් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය දියත් කළ 'නිහඬ කළ සෙවණැලි' කාව්‍ය රචනා තරඟයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.
බැසිල් ප්‍රනාන්දු ඉංග්‍රීසියෙන් රචනා කළ Looking for Raju නම් කවි පන්තිය ඇතුළු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලියවුනු කාව්‍ය රචනා 15 ක් තරඟයෙන් ජයගෙන තිබෙන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිවේදනය කළේය.
බලාපොරොත්තුව?
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පෙන්වා දෙන පරිදි අසූව දශකයේ සිට 80,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවේදී අතුරුදහන්ව සිටින අතර, එවැනි අතුරුදහන්වීම් අති බහුතරයක් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් පවත්වා නැත.
පසුගිය වර්ෂයේ දෙසැම්බරයේදී ශ්‍රී ලංකාව අතුරුදහන්වීම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූ නමුත් තවමත් එය පාර්ලිමේන්තුව මගින් අනුමත කර නීතිගත කර නැත.
ඡායාරූප මූලාශ්‍රය, AHRC
හිත ඇතුලේ කඳුළු සලන්නේ මේ පවුල්වල අය විතරක් නෙවෙයි. අපි කවුරුත් හිතේ කඳුලෙන් ජීවත්වෙන මිනිස්සු - බැසිල් ප්‍රනාන්දු
"සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලංකාවේ සියලුම පවුලක් පාහේ අතුරුදහන් වූ සිය සමීපයෙක් තවමත් සොයමින් සිටියි," බවයි කාව්‍ය රචනා තරඟයේ ජයග්‍රාහකයන් ප්‍රකාශයට පත්කරමින් ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව පිළිබඳ පර්යේෂිකා යොලන්ඩා ෆොස්ටර් පවසන්නේ.
"ඔවුන් යළි කිසි දිනෙක හමුවනු ඇතැයි යන බලාපොරොත්තුව බොහෝ දෙනා අත්හැර දමා තිබේ."
'හිතේ කඳුලෙන්'
එය අනුමත කරන බැසිල් ප්‍රනාන්දු සංදේශයට කියා සිටියේ, සිය පවුලේ සාමාජිකයකුම නොවූවත් අතුරුදහන් වූ සිය සමීපයකු පිළිබඳ ශ්‍රී ලංකාවේ සෑම දෙනෙකුටම අත්දැකීමක් තිබෙන බවයි.
"හිත ඇතුලේ කඳුළු සලන්නේ මේ පවුල්වල අය විතරක් නෙවෙයි. අපි කවුරුත් හිතේ කඳුලෙන් ජීවත්වෙන මිනිස්සු," ඔහු පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, Amnesty International
සියලුම ජාතීන්ට අයත් ශ්‍රී ලංකාවේ සියලුම පවුලක් පාහේ අතුරුදහන් වූ සිය සමීපයෙක් තවමත් සොයමින් සිටියි - ඇම්නෙස්ටි ජාත්‍යන්තරය
එහෙත් ඒ වේදනාව ගැඹුරෙන් විග්‍රහ කෙරෙන කළා කෘති ප්‍රමාණවත් තරම් තවමත් ප්‍රකාශයට පත් වී නැති බව බැසිල් ප්‍රනාන්දු ගේ විග්‍රහයයි.
"එක පැත්තකින් ගැඹුරෙන් සැඟවුණු කෘරත්වයක් පවතිනවා. අනිත් පැත්තට ඒකට විරුද්ධත්වය යටින් තිබුණත් ඒක ප්‍රකාශයට පත්කරගන්න බැරි ජනතාවක් ඉන්නවා. මේ විරුද්ධත්වය ඉස්මත්තට ආ යුතුයි."
ජයග්‍රාහකයෝ
සිය කාව්‍ය රචනාවට ප්‍රස්තුත වූයේත් ඉන්දිරා ගාන්ධි පාලනය සමයේ ඉන්දියාවේ ආන්දෝලනයට ලක් වූ සැබෑ සිදුවීමක් බවත් ඔහු පැවසීය.
එස් ධනුෂ්ක මධුශංක කීර්තිරත්න, පුන්‍යා සමරකෝන්, ජයනි අබේසේකර, නොරාන් යසිස්ලාල් සහ ලලිත් මානගේ සිංහල කාව්‍ය රචනා අංශයෙන් ජයග්‍රහණය ලැබූ කවියන් සහ කිවිඳිනියන්.
මාලතී ද අල්විස්, රාධියා රමීස්, ශාෂ් ට්‍රේවට් සහ හසිත වික්‍රමසිංහගේ නිර්මාණද ඉංග්‍රීසි භාෂා අංශයෙන් තෝරාගෙන තිබේ. (බැසිල් ප්‍රනාන්දු සමඟ සාකච්ඡාවට සවන්දෙන්න)
රහීමා ෆෛසාල්, දයා දේවි, කේෂනී එඩ්මන්ඩ්, ජෝසප් ඩැනියෙල් සහ දේවන් සිවපාලන් දෙමළ භාෂා අංශයේ ජයග්‍රාහකයෝ වෙති.
ඒ සියලු නිර්මාණ අනෙක් භාෂා දෙකටත් පරිවර්තනය කර ලබන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ ප්‍රකාශකයෙක් බීබීසී සංදේශයට පැවසීය.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, ආචාර්ය ලියනගේ අමරකීර්ති සහ ප්‍රවීන ලේඛක ගාමිණී වියන්ගොඩ කාව්‍ය රචනා තරඟයේ සිංහල අංශයේ විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කළහ.