ඇන්ජලීනා ජොලී: අනාථයන්ට ආධාර කිරීම 'අඩාලවෙමින් තිබෙනවා'

Angelina Jolie
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇන්ජලීනා ජොලී සිය අදහස් දැක්වූයේ ගෝලීය සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් බීබීසී ය දියත් කළ 'World on the Move' දිනයට අදාළ වැඩසටහනට එක්වෙමින්.

අනාථයන් සඳහා ආධාර කරන ජාත්‍යන්තර ක්‍රමවේදය අඩාල වෙමින් පවතින බව අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආයතනයේ විශේෂ නියෝජිත ඇන්ජලීනා ජොලී-පිට් අනතුරු අඟවයි.

හොලිවුඩ් පුරවරයේ ජනප්‍රිය නිළිය ඒ බව කියා සිටියේ ගෝලීය සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් බීබීසී ය දියත් කළ 'World on the Move' දිනයට අදාළ වැඩසටහනට එක්වෙමින්.

'සංක්‍රමණය පිළිබඳ භීතිකාව' පිළිබඳව අනතුරු ඇඟවූ ඇන්ජලීනා ජොලී, ලොව පුරා ජාතීන්ට එකමුතු වී ක්‍රියාකිරීම පිණිස ඉතා දුර්ලභ මොහොතක් උදා වී තිබෙන බව සඳහන් කළාය.

අනාථයන් සම්බන්ධ අර්බුදය දැන් ගෝලීය අර්බුදයක් බවට පත් වී තිබෙන බවයි, ඊට පෙරාතුව අදහස් දැක්වූ UNHCR ආයතනයේ ප්‍රධානියා කියා සිටියේ.

සංක්‍රමණිකයන් ආපසු හරවා යැවීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රාන්දි පැවසීය.

'ප්‍රමාණවත් නෑ'

ගතව ගිය දශක හතක කාලය තුල ලොව පුරා කෝටි හයක ජනකායක් අවතැන් වී ඇති බව ඇන්ජලීනා ජොලී පෙන්වා දෙන්නීය. එය ලොව සෑම පුද්ගලයන් 122 කටම එක් අයකු අවතැන්වීමට සමාන තත්වයක්.

Migrant child covered in blanket stands in rain at Greek border camp near Idomeni, 10 March 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

ග්‍රීක දේශසීමාව ආසන්නයේ පොරෝනයකින් වසා ගෙන වැස්සෙන් බේරීමට උත්සාහ දරන සංක්‍රමණික දරුවෙක්

ලෝක සාමය සහ ආරක්ෂාව පිළිබඳව එමගින් ඉතා බරපතල චිත්‍රයක් මතු කරන බව පෙන්වාදෙන එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය, "වර්තමානයේ කිසියම් පුද්ගලයකු අවතැන් වන සාමාන්‍ය කාලය වසර විස්සකට ආසන්න," බවත් සඳහන් කරන්නීය.

ලොව පුරාම පවතින ගැටුම් සහ අවතැන් වීමේ ප්‍රවනතාවය කෙතරම් ඉහල ගොස් තිබෙන්නේද යත් අනාථයන් ආරක්ෂා කිරීමේ සහ ඔවුන් ආපසු යැවීමේ ක්‍රියාදාමය තවදුරටත් ක්‍රියාත්මක නොවන බවයි ඇය පවසන්නේ.

එමෙන්ම අනාථයන් වෙනුවෙන් එක්සත් ජාතීන් දියත් කරන වැඩසටහන්වලට ප්‍රමාණවත් මූල්‍යාධාර නොලැබෙන බවත් ඇන්ජලීනා ජොලී පවසන්නීය.

අනාථයන් රැක බලා ගැනීමේ වගකීම රටවල් කිහියපකට පමණක් පැවරී තිබෙන බවයි, ඊට ඉහතදී බීබීසී ය සමඟ අදහස් දැක්වූ අනාථයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් ෆිලිපෝ ග්‍රාන්දි කියා සිටියේ.

අර්බුදයට පිලියමක් සොයා ගැනීම පිණිස 'ඉතා දුෂ්කර සහ දීර්ඝ සංවාදයක්' අවශ්‍ය වනු ඇති බව පිළිගත් ඔහු, කෙසේ නමුත් දේශසීමා වසා දමා, අනාථයන් යළි හරවා යැවීම මගින් අර්බුදයට පිළියම් දෙනු නැති බවත් අවධාරණය කළේය.

Some of the world's many migration routes
ඡායාරූප ශීර්ෂ වැකිය,

සංක්‍රමණික සංසරණ මාර්ගවලින් කිහිපයක්