'මතට තිත' තමිල්නාඩුවටත්

A man drinks outside an alcohol shop in Chennai
ඡායාරූප ශීර්ෂ වැකිය,

තමිල්නාඩුවේ දිනකට මිලියන හතක පිරිසක් මත්පැන් පානය කරන බවයි පැවසෙන්නේ

මත්පැන් පානය කිරීම සහ වෙළඳාම මුළුමනින්ම තහනම් කරන නවතම ඉන්දියානු ප්‍රාන්තය තමිල්නාඩුව වීමට ඉඩ ඇති බව චෙන්නායි හි සිටින බීබීසීයේ ගීතා පාන්ඩේ පවසයි.

චෙන්නායි නගරයේ උතුරු ප්‍රදේශයේ දී විශේෂයෙන්ම ඉතා අධික හිරු රශ්මිය සහිත ග්‍රීෂ්ම ඍතුවේ දිනක සවස් කාලයේ දැඩි හිරුරැස් මැකී යනවාත් සමගම මත්පැන් අලෙවිසැල් මිලදීගන්නන් ගෙන් පිරී යාම ඇරඹෙයි.

6,800 ක් ආණ්ඩුවේ තැබෑරුම්

රජය මගින් පවත්වාගෙන යන තමිල්නාඩු රාජ්‍ය වෙළඳ සංස්ථාව(Tasmac)ට අයත් වෙළඳසැල් පිරී යන්නේ වැඩිවශයෙන් අඩු ආදායම්ලාභී රජයේ සේවකයන් සහ රික්ෂෝ පදවන්නන් වැනි දෛනික වැටුප් ලබන මිනිසුන්ගෙනි.

බොහෝවිට කුඩා විස්කි බෝතලයක් මිලදීගන්නා ඔවුහු මහමගදීම එය පානය කර හිස් බෝතල සහ ප්ලාස්ටික් කෝප්ප පදිකවේදිකාවල දමා යති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මත්පැන් හලක් අසල හිස් බෝතල් සහ ප්ලාස්ටික් කෝප්ප දමාගොස් ඇති අයුරු

මත්පැන් පානයෙන් පසු තම ශරීරය පාලනය කර ගත නොහැකි ඇතැමෙක් මත්පැන් හලට පිටතින් පදික වේදිකාවේ දිගාවී සිටින අතර තවත් සමහරු තම දෑත්වලින් හිස බදාගෙන අසළ තැන්වල වාඩිවී සිටිති.

තමිල්නාඩු රාජ්‍ය වෙළඳ සංස්ථාව(Tasmac)ට අයත් පළමු මත්පැන් වෙළඳසැල විවෘත වුයේ 1983 දී වන තර මේ වන විට එම සංඛ්‍යාව 6,800 දක්වා ඉහලගොස් ඇති අතර ප්‍රාන්තය පුරා සෑම තැනකම ඇවිද යා හැකි දුරින් මත්පැන් හලක් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මිලදී ගැනීමේ පහසුව

මෙසේ පහසුවෙන් මත්පැන් මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් මත්පැන් වලට ඇබ්බැහි වූවන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල ගොස් ඇති අතර එම සංඛ්‍යාව මිලියන 10 ක් පමණ වන බවයි මේ පිළිබඳව කටයුතු කරන ක්‍රියාධරයන් පවසන්නේ.

රජය විසින්ම පිළිගෙන ඇති ආකාරයට මිලියන හතකට වැඩි ජනතාවක් දිනපතා මත්පැන් පැනයට හුරුවී සිටිති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

මත්පැන් විරෝධී වැඩසටහන් වලට කාන්තාවන්ගෙන් ලැබෙන්නේ නොමඳ සහයකි

බීමට ඇබ්බැහි වුවන් අතර ගොවීන්, කම්කරුවන් කාන්තාවන් සහ ළමුන් ද සිටින බව පවසන 'මක්කල් අධිකාරම්' නම් සංවිධානයේ සාමාජික එස් රාජු බීබීසීයට පැවසුවේ වයස අවුරුදු තුනක දරුවෙක් මත්පැනට ඇබ්බැහි වී ඇති ආකාරය තමා සියසින් දැක ඇති බවයි.

රජය මගින් පාලනයවන මත්පැන් හල් පාසැල්, පල්ලි, දේවාල සහ රෝහල් ඇතුළු සෑම තැනකම පවත්වාගෙන යන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අපරාධ සහ මත්පැන්

ප්‍රධාන අපරාධයන වලට මත්පැන් කෙලින්ම සම්බන්ධ වන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ කාන්තාවන් ලිංගික දුෂණයට ලක් කිරීම සහ සොරකම් වලට ද හේතුවක් වන බවයි.

මත්පැන් බීමෙන් පසු කළහ කිරීම හේතුවෙන් වයස 30 ටත් අඩු කාන්තාවන් විශාල පිරිසක් වැන්දඹුවන් බවට පත් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පහසුවෙන් මත්පැන් මිලදී ගැනීමට හැකිවීම මෙසේ මත්පැනට ඇබ්බැහි වීමට හේතුවක් වී තිබෙන බවයි පැවසෙන්නේ

පසුගිය වසර දෙකේ දී තමිල්නාඩු ප්‍රාන්තය පුරා පැවති මත්පැන් විරෝධී උද්ඝෝෂණ වලට කාන්තාවන්ගේ සහයෝගය නොමඳව ලැබී තිබුණි.

කාන්තා විරෝධය

රත්තන් බසාර් වෙළඳ සැලේ මල් විකිණීමෙහි යෙදෙන කාන්තාවන් කණ්ඩායමක් පැවසුවේ ඔවුන් විරෝධතාවලට සහය දෙන්නේ තමන් දුක් මහන්සියෙන් උපයන දේ තම සැමියන් විසින් මත්පැන් බී විනාශකරනු ලැබීම ඉවසාගත නොහැකි නිසා බවයි.

ඔවුන් අතරින් කෙනෙකු වූ 40 වියැති දෙදරු මවක් වූ භාරතී පැවසුවේ තම සැමියා රුපියල් දෙසීයක් දවසට උපයන නමුත් නිවසට රැගෙන එන්නේ ඉන් අඩක් පමණක් බවයි. තමා එයට විරුද්ධ වුව හොත් ඔහුගෙන් පහරකෑමට සිදුවන බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

තමිල්නාඩුවේ පමණක් රජය විසින් පවත්වාගෙන යන මත්පැන් හල් 6,800 ක් ඇති බවයි පැවසෙන්නේ

පසුගිය සති කිහිපය තුළ ප්‍රාන්තයේ දේශපාලන පක්ෂ කිහිපයක් පොරොන්දු වී තිබුණේ තමන්ට බලය ලබා දුනහොත් මත්පැන් තහනම් කිරීමට කටයුතු කරන බව පවසමින්.

කෙසේවුවද මත්පැන් තහනම් කිරීමට සලකා බැලීම පළමු වරට සිදුවන දෙයක් නොවේ. 1937 දී සලෙම් දිස්ත්‍රික්කයේ දී හඳුන්වා දී පසුව මුළු ප්‍රාන්තය දක්වා පුළුල් කර තිබුණි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

පසුගිය සති කිහිපය තුළ මත්පැන් වලට එරෙහි උද්ඝෝෂණ ප්‍රාන්තය පුරා පැවැත්විණි

එහෙත් වසර කිහිපයකට පසු එම තහනම ඉවත් කෙරුණු අතර මත්පැන් වෙළඳාම මගින් වසරකට බිලියන 300 ක ආදායමක් රජයට ලැබෙන බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

රජයේ වෙළඳසැලක් අසල මත්පැන් පානය කරන පිරිසක්

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ මත්පැන් පානය මුළුමනින්ම තහනම් කොට ඇති අතර දකුණේ කේරළ ප්‍රාන්තය ඇතුළු තවත් ප්‍රාන්ත කිහිපයක අර්ධ තහනමක් පනවා තිබේ.

අප්‍රේල් මාසයේ දී නැගෙනහිර බිහාර් ප්‍රාන්තය ද මත්පැන් පානය සහ විකිණීම මුළුමනින්ම තහනම් කළේය.

එහි ප්‍රතිපලයක් ලෙස මත්පැන් වෙළඳාම රහසින් සිදුවන අතර ඇතැමුන් මත්පැන් මිල දී ගැනීම පිණිස අසල්වැසි ප්‍රාන්තයක් වන උත්තර ප්‍රදේශ් දක්වා යන බවයි පැවසෙන්නේ.