බ්‍රසල්ස් ප්‍රහාරයේ සැක කරුගේ අන්තිම කැමති පත්‍රය හෙළිවෙයි

Image copyright Police Federale
Image caption මාර්තු විසිදෙවන දින බ්‍රසල්ස් ප්‍රහාරයෙන් පසු CCTV කැමරා වල සටහන් වූ හිස්වැස්මක් පැළඳ ගුවන්තොටුපළෙන් පලා ගිය පුද්ගලයා

පසුගිය මාර්තු මාසයේ බ්‍රසල්ස් නුවරට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයේ මේ වන විට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැක කරු විසින් ලියන ලද අන්තිම කැමති පත්‍රය හෙළිදරව් වී ඇති බව ප්‍රංශ ජනමාධ්‍ය වාර්තා කරයි.

බ්‍රසල්ස් බෝම්බ ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ CCTV කැමරා වල සටහන් වූ හිස්වැස්මක් පැළඳ ගුවන්තොටුපළෙන් පලා ගිය පුද්ගලයා ලෙස හඳුනා ගෙන අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් අබ්රිනි ප්‍රහාරය සිදු කිරීමට පෙර ලියන ලද අවසන් ප්‍රකාශයක් ඇතුළත් පරිඝනකයක් කසල ගොඩක තිබී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

පසුගිය අප්‍රේල් මස බ්‍රසල්ස් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු මොහොමඩ් අබ්රිනි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ 'කෘමියෙකුටවත් හානියක් සිදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන' බවයි.

කෙසේ වෙතත් සොයා ගනු ලැබූ පරිඝනකයේ තිබී හෙළිදරව් කර ගත් ඔහුගේ අවසන් කැමති පත්‍රයෙන් කියවෙන්නේ, පසුගිය නොවැම්බර් මාසයේ පැරිස් නුවරට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර තමන් අනුමත කරන අතර ආගම වෙනුවෙන් දිවි පිදූ වීරයෙක් ලෙස මිය යාමට කැමැත්තෙන් සිටින බවයි.

පැරිස් ප්‍රහාරකයන් සහ බ්‍රසල්ස් ප්‍රහාරකයන් සිය ප්‍රහාර සැලසුම් කිරීමට සහ සැඟවී සිටීමට යොදා ගත් බ්‍රසල්ස් නුවර පිහිටා තිබෙන නිවසක් අසල කසල ගොඩක තිබී මෙම පරිඝනකය සොයා ගෙන තිබේ.

Image copyright Belgian police
Image caption බ්‍රසල්ස් නුවරට එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරයේ මේ වන විට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැක කරු මොහොමඩ් අබ්රිනි

පෙබරවාරි දෙවෙනිදාට දිනය සටහන් වන අන්තිම කැමති පත්‍රයෙන් මොහොමඩ් අබ්රිනි, 2014 වසරේ ජූලි මාසයේ සිරියාවේ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීමෙන් ජීවිතය පුදකළ සිය සොයුරා තමා තුළ ආගම කෙරෙහි පවතින භක්තිය තීව්‍ර කිරීමට හේතු වූ බව විස්තර කරයි.

ලිපියේ සඳහන් වන ආකාරයට එවකට තිස් එක් හැවිරිදි වියේ පසු වූ ඔහු සිය සොයුරාගේ මරණයෙන් පසු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයට බැඳීමට තීරණය කර තිබේ.

පැරිස් ප්‍රහාරකයන් සිය ජීවිතයේ වීරයන් ලෙස හඳුන්වන මොහොමඩ් අබ්රිනි ලිපිය අවසන් කරන්නේ මවගෙන් සමාව අයැද සිටිමින්, සිය මරණයෙන් පසු සොයුරා සහ මව සමග ස්වර්ගයේදී හමු වීමට බලාපොරොත්තු වන බව පවසමිනි.

නොවැම්බර් මස පැරිස් ප්‍රහාරයෙන් පුද්ගලයන් එකසිය තිස් දෙනෙකු ඝාතනය කෙරුණු අතර බ්‍රසල්ස් ප්‍රහාරයෙන් ජීවිත තිස් දෙකක් විනාශ විය.