පැහැර ගැනුණු නයිජීරියානු දැරියක් සොයා ගැනෙයි

'Bring back our girls' protest

ඡායාරූප මූලාශ්‍රය, AFP

මින් වසර දෙකකට පෙර බොකෝ හරාම් කැරලිකරුවන් විසින් පැහැර ගැනුණු නයිජීරියානු චිබොක් දැරියන් අතරින් එක් දැරියක සොයා ගැනීමට සමත් වී ඇති බව එරට ක්‍රියාධරයෝ පවසති.

2014 වසරේ අප්‍රේල් මාසයේ බොකෝ හරාම් කැරලිකරුවන් විසින් ඊසානදිග නයිජීරියාවේ ද්විතීක විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටි දැරිවියන් දෙසිය හැත්තෑ හය දෙනෙකු පැහැර ගනු ලැබිණි.

කැමරූන් දේශ සීමාවට මායිම් වන සම්බයිසා වනාන්තරයේදී ඊයේ (අඟහරුවාදා) නයිජීරියාවේ අවි ගත සාමාන්‍ය ජනතාවගෙන් සුසැදි සිවිල් එකමුතු හමුදාව විසින් අමිනා අලි නම් පැහැර ගැනුණු චිබොක් දැරිය සොයා ගෙන ඇති බවයි නයිජීරියානු ක්‍රියාධරයෝ බීබීසියට කියා සිටියේ.

බොකෝ හරාම් කැරලිකරුවන්ට එරෙහිව සටන් කිරීමට පිහිටුවා ගත් මෙම සිවිල් එකමුතු හමුදාවේ සොල්දාදුවෙකු විසින් අමිනා අලි චිබොක් දැරියන්ගෙන් එක් දැරියක බව හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අමීනා සමග අත දරුවෙකුද සොයා ගත් බවටයි බීබීසියට මේ වන විට තොරතුරු ලැබී තිබෙන්නේ.

පාසලෙන් පැහැර ගැනුණු දැරිවියන් 276 දෙනාගෙන් දැරියන් කිහිප දෙනෙකු ලොරි රථ වලින් ඔවුන් ප්‍රවාහනය කරන අතරතුර පැන යාමට සමත් වූ නමුත් තවමත් දැරියන් 219 දෙනෙකු අතුරුදහන්ව සිටියි.

කෙසේ වෙතත් නයිජීරියානු රජයේ හමුදා මෙම දැරිය සම්බන්ධයෙන් තවමත් කිසිදු ප්‍රකාශයක් නිකුත් කර නැත.