පැරීසියේ සිට ගමන්ගත් ඊජිප්තු ගුවන් යානය අතුරුදහන්

Scene outside Cairo airport on 19 May 2016

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය,

තම ඥාතීන් පැමිණෙන තුරු බලා සිටින පිරිස සමග ඊජිප්තු අගමැතිවරයා ද එක්වී සිටී

පුද්ගලයන් 66 දෙනෙකු සමග පැරීසියේ සිට කයිරෝ බලා ගමන් ගත් ඊජිප්තු ගුවන් යානයක සම්බන්ධතාවය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගොස් ඇත.

ආ320 දරන 'එයාර් බස්' යානය නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ඉහළින් ඊජිප්තු ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසුවයි අතුරුදහන් වී ඇත්තේ.

ගුවන් යානය මගින් ආපදා සංඥාවක් නිකුත්කළ බවට 'ඊජිප්ට් එයාර්' සමාගම විසින් කරන ලද වාර්තාව ඊජිප්තු හමුදා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ළමුන් තිදෙනෙකු ඇතුළු මගීන් 56 දෙනෙකු සමග ගුවන් යානා කාර්යමණ්ඩලයේ හත් දෙනෙකු ද ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුද MS804 යානය තුළ සිටි බවයි ගුවන් සමාගම පවසන්නේ.

මගීන් අතර ඊජිප්තු ජාතිකයන් 30 දෙනෙකු, ප්‍රංශ ජාතිකයන් 15 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඉරාක ජාතිකයන් දෙදෙනෙකු සිටි අතර සෙසු පිරිස කැනඩාව, බෙල්ජියම, කුවෙයිට් රාජ්‍යය, සෞදි අරාබිය, ඇල්ජීරියාව, සුඩානය සහ පෘතුගාලයට අයත් මගීන් බවයි වාර්තා වන්නේ.

Police at Paris Charles de Gaulle airport on 19 May 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

ප්‍රංශයේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළේ ආරක්ෂාව තර කර තිබේ.

ග්‍රීක සහ ඊජිප්තු ආරක්ෂක හමුදා විසින් යානය සෙවීමේ මෙහෙයුම් අරඹා ඇති අතර සහායක යානා සහ බෝට්ටු එම ප්‍රදේශයට යවන බව ප්‍රංශය පවසා තිබේ.

රාත්‍රී 23:09 ට පැරීසියේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළෙන් පිටත් වූ MS804 යානය ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළට ලඟා වීමට නියමිතව තිබුණේ උදෑසන 3:15 ටයි.

ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 02:45 ට පමණ නැගෙනහිර මධ්‍යධරණී මුහුදට අඩි 37,000 ක් ඉහලින් පියාසර කරද්දීය යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා ගිලිහී ගොස් ඇත්තේ.

ඊජිප්තු ගුවන් සමගම උපුටා දක්වමින් අල් අහ්රාම් පුවත්පත වාර්තා කර තිබුණේ යානය අතුරුදහන් වී පය දෙකකට පමණ පසු උදෑසන 04:26 ට සෝදිසි මෙහෙයුම් වල යෙදී උන් හමුදා කණ්ඩායම් වලට යානයෙන් ආපදා සංඥාවක් ලැබුණු බවයි.

එහෙත් හමුදාව විසින් එම වාර්තාව ප්‍රතික්ෂේප කර තිබේ.

ඊජිප්තු අගමැතිවරයා වන ෂෙරිෆ් ඉස්මයිල් ද ගුවන් තොටුපලට පැමිණ සිටි අතර මගීන්ගේ ඥාතීන් ද ගුවන් තොටුපළේ රැඳී සිටින බවයි 'නයිල් නිව්ස්' වාර්තාකර තිබුණේ.

මෙම යානය අඩු වියදම් ගමන් සඳහා නිරතුරුවම යොදාගත් යානයක් වන අතර එම යානා ඉතා ඉහල ආරක්ෂක වාර්තාවක් සහිත ඒවා බවයි ගුව ගමන් විශ්ලේෂක ඇලෙක්ස් මාචර්ස් බීබීසීයට පැවසුවේ.