ඊජිප්තු ගුවන් යානය කඩා වැටුණු බව ප්‍රංශ ජනපති පවසයි

Egypt Air Crash

ඡායාරූප මූලාශ්‍රය, AirTeamImages

ඡායාරූප ශීර්ෂ වැකිය,

අඩි 37,000 ක් ඉහලින් පියාසර කරද්දීය යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා ගිලිහී ගොස් ඇත්තේ

පුද්ගලයන් 66 දෙනෙකු සමග පැරීසියේ සිට කයිරෝ බලා ගමන් ගත් ඊජිප්තු ගුවන් යානය මුහුදට කඩා වැටී ඇති බව ප්‍රංශ ජනපති ඔලොන්දේ පවසයි.

ආ320 දරන 'එයාර් බස්' යානය නැගෙනහිර මධ්‍යධරණී මුහුදට ඉහළින් ඊජිප්තු ගුවන් සීමාවට ඇතුල්වීමෙන් පසුවයි අතුරුදහන් වී තිබුණේ.

ළමුන් තිදෙනෙකු ඇතුළු මගීන් 56 දෙනෙකු සමග ගුවන් යානා කාර්යමණ්ඩලයේ හත් දෙනෙකු ද ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුද MS804 යානය තුළ සිටි බවයි ගුවන් සමාගම පවසන්නේ.

මගීන් අතර ඊජිප්තු ජාතිකයන් 30 දෙනෙකු, ප්‍රංශ ජාතිකයන් 15 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ ඉරාක ජාතිකයන් දෙදෙනෙකු සිටි අතර සෙසු පිරිස කැනඩාව, බෙල්ජියම, කුවෙයිට් රාජ්‍යය, සෞදි අරාබිය, ඇල්ජීරියාව, සුඩානය සහ පෘතුගාලයට අයත් මගීන් බවයි වාර්තා වන්නේ.

රාත්‍රී 23:09 ට පැරීසියේ චාර්ල්ස් ඩිගෝල් ගුවන් තොටුපළෙන් පිටත් වූ MS804 යානය ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපළට ලඟා වීමට නියමිතව තිබුණේ උදෑසන 3:15 ටයි.

ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 02:45 ට පමණ නැගෙනහිර මධ්‍යධරණී මුහුදට අඩි 37,000 ක් ඉහලින් පියාසර කරද්දීය යානය සහ පාලක මැදිරිය අතර සම්බන්ධතා ගිලිහී ගොස් ඇත්තේ.

මෙම යානය අඩු වියදම් ගමන් සඳහා නිරතුරුවම යොදාගත් යානයක් වන අතර එම යානා ඉතා ඉහල ආරක්ෂක වාර්තාවක් සහිත ඒවා බවයි ගුව ගමන් විශ්ලේෂක ඇලෙක්ස් මාචර්ස් බීබීසීයට පැවසුවේ.