පැරිස් ප්‍රහාරයේ සැක කරු අධිකරණයේදී මුනිවත රකියි

Image copyright EPA
Image caption සැක කරු සලාහ් අබ්දෙස්ලාම් ප්‍රංශ අධිකරණය වෙත ගෙන එනු ලැබුවේ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේයි.

පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු සලාහ් අබ්දෙස්ලාම් අද (සිකුරාදා) ප්‍රථම වරට ප්‍රංශ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී ඔහු කතා කිරීමෙන් සම්පුර්ණයෙන්ම වැළකී සිටි බවයි විත්තියේ නීතීඥයා පවසන්නේ.

පැරිස් නගර මාධ්‍යයේ පිහිටි අධිකරණයේ සලාහ් අබ්දෙස්ලාම්ට එරෙහි චෝදනා විභාග කිරීම වෙනුවෙන් පැවති නඩු වාරය මහ ජනතාවට විවෘත කර නොතිබුණි.

පසුගිය නොවැම්බර් මාසයේ පුද්ගලයන් එකසිය තිස් දෙනෙකුට මරු කැඳවමින් පැරිස් නුවරට එල්ල කෙරුණු මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව සැලසුම් කිරීම සහ ප්‍රහාරකයන් ප්‍රවාහනය කිරීම යන කටයුතු වලට සලාහ් අබ්දෙස්ලාම් ඍජුවම සම්බන්ධ වූ බවටයි විශ්වාස කෙරෙන්නේ.

අත්අඩංගුවට පත් වූ සලාහ් අබ්දෙස්ලාම් රඳවා සිටියේ පැරිස් නුවරට මදක් එපිටින් පිහිටා තිබෙන 'ෆ්ලෙහුරි මෙගොහිස්' අධි ආරක්‍ෂිත බන්ධනාගාරයේයි.

Image copyright Belgian/French police
Image caption පැරිස් ප්‍රහාරයේ ප්‍රධාන සැක කරු සලාහ් අබ්දෙස්ලාම්

ප්‍රංශයේ පවතින සංවීක්ෂණ අධිකරණ ක්‍රමයට අනුව නඩු විභාගයකදී ප්‍රංශ විනිසුරුවන් විත්තිකරු සහ සාක්ෂිකරුවන් දැඩි ප්‍රශ්න කිරීම් වලට බඳුන් කරන අතර තීන්දුව ලබා දීම පමණක් නොව නඩුව විසඳීමේ වගකීම පැවරෙන්නේ ද විනිසුරුවරුන් වෙතයි.

කෙසේ වෙතත් අබ්දෙස්ලාම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයා ප්‍රංශ පුවත් සේවය අමතමින් කියා සිටියේ සිය සේවා දායකයා අද දින අධිකරණයේ ප්‍රශ්න වලට පිළිතුරු දීම හෝ කිසිදු ප්‍රකාශයක් කිරීමෙන් වැළකී සිටි අතර ඉදිරි දිනකදී අධිකරණය ඉදිරියේ කතා කිරීමට බලාපොරොත්තු වන බවයි.

ත්‍රස්තවාදී මෙහෙයුම්, මිනීමැරුම් සහ මිනී මැරීමට තත් කිරීම යන චෝදනා යටතේ සලාහ් අබ්දෙස්ලාම්ට නඩු පවරා තිබේ.

පැරිස් ප්‍රහාරයෙන් පසු මාස කිහිපයක් සැඟවී සිටි මොහු පසුගිය මාර්තු මාසයේ අත්අඩංගුවට පත් වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී වන අතර බෙල්ජියම් බලධාරීන් විසින් පසුගිය මාසයේ අබ්දෙස්ලාම්ව ප්‍රංශ රජයට භාර දෙනු ලැබීය.