පොලිස් හිංසනයට ශ්‍රේෂ්ඨාධිකරණ පිළියමක්

පොලිස් ප්‍රශ්න කිරීම් වලදී සිදු කෙරෙන පහර දීම් සහ වද බන්ධන වැළැක්වීම සහ වරෙන්තුවක් නොමැතිව සිදු කෙරෙන අත්අඩංගුවට ගැනීම් නීතියට අනුකූලව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් මාලාවක් සහ අධිකරණ නියෝගයක් පොලිසිය වෙත ලබා දීමට බංග්ලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

බංග්ලාදේශයේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 54 සහ 167 පරිච්ඡේද යටතේ වරෙන්තුවක් නොමැතිව සැක සහිත පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට, රඳවා තබා ගැනීමට සහ ප්‍රශ්න කිරීමට පොලිසියට බලය පැවරෙන අතර ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් සිදු කොට තිබෙන්නේ එම බලය යෙදවීමේ දී පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සහ පියවර මාලාවක් නියෝගයක් හරහා පොලිසියට ලබා දීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ අභියාචනාවක් සැලකිල්ලට ගත් පංච පුද්ගල විනිසුරු මඩුල්ල දීර්ඝ නීති විශ්ලේෂණයකින් පසු සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ මෙම නව නියෝගය මගින් පොලිසිය අදාළ පරිච්ඡේද යටතේ ක්‍රියා කිරීමේදී බලය අයුතු ලෙස භාවිතා කිරීමෙන් වැළක්වෙනු ඇති බවයි.

බලය අයුතු ලෙස භාවිතා කිරීම

නව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව යම් කිසි පුද්ගලයෙකු සිර භාරයට ගෙන රඳවා තැබීමට අපරාධ නඩු විධාන සංග්‍රහයේ 54 වන පරිච්ඡේදයෙන් තවදුරටත් පොලිසියට බලය හිමි නොවෙයි.

ඊට අමතරව පොලිසිය විසින් යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම කටයුත්ත සිදු කරන නිලධාරීන් සිය හැඳුනුම්පත ප්‍රදර්ශනය කොට සිය නිලය සැක කරුට හෙලි කළ යුතු වන අතර අත්අඩංගුවට ගැනීමෙන් පැය තුනක් ගත වීමට පෙර සැක කරුට එල්ල වේ ඇති චෝදනාව හෙළි කළ යුතු වෙයි.

නව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ සඳහන් තවත් වැදගත් කරුණක් වන්නේ යම් පුද්ගලයෙකු ඔහුගේ නිවසින් හෝ කාර්යාලයෙන් පිටත දී අත්අඩංගුවට ගැනීමකට ලක් වෙයි නම් ඔහුගේ පවුලේ ඥාතීන්ට ඒ පිළිබඳව පැයක කාලයක් තුළ දුරකථන පණිවුඩයකින් හෝ පණිවුඩ කරුවෙකු හරහා පොලිසිය විසින් දැනුවත් කිරීමක් සිදු කළ යුතු වීමයි.

ඥාතීන් දැනුවත් කිරීම

ඒ අනුව අත්අඩංගුවට පත් වන පුද්ගලයාට නීතිඥයෙකුගේ සහය පැතීමටත් සිය පවුලේ ඥාතීන් සමග කතා කිරීමටත් පොලිසිය අවසර ලබා දිය යුතු වෙයි.

වරෙන්තුවක් නොමැතිව සැක පිට අත්අඩංගුවට ගැනීමට බංග්ලාදේශ පොලිසියට තවමත් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ බලය හිමි වුවත් නව නියෝගයට අනුව අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා රඳවා තබා ගැනීමටත් ඔහුගෙන් ප්‍රශ්න කිරීමටත් මහේස්ත්‍රාත්වරයෙකුගේ නියෝගයක් අවශ්‍ය වන අතර එම ප්‍රශ්න කිරීම් සිදු කළ යුත්තේ වීදුරු බිත්තියක් සහිත කාමරයකයි.

විනිවිදභාවයකින් යුතු ප්‍රශ්න කිරීම්

ඒ හරහා අත්අඩංගුවට පත් වූ පුද්ගලයාගේ ඥාතීන්ට සහ නීතිඥවරයාට පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන ආකාරය නැරඹිය හැකි වන අතර ප්‍රශ්න කිරීම් වලදී ඇතැම් විට සිදු කෙරෙන පොලිස් වද බන්ධන වැළකීමට රුකුලක් වන බවයි විනිසුරුවරයන් සිය නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ.

එමෙන්ම නව නියෝගයට අනුව පොලිස් අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු ප්‍රශ්න කිරීමට පෙර සහ පසු වෛද්‍ය පරීක්ෂණයකට ලක් කළ යුතු වන අතර යම් අවස්තාවක සැක කරුට කායික හෝ මානසික හිංසා සිදු කළ බවට වෛද්‍ය වාර්තාවක් ලැබෙන්නේ නම් එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටද රජයට බලය හිමි වෙයි.

ලංකාවේ යාන්ත්‍රනය

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ තවමත් වරෙන්තුවකින් තොරව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ බලය පොලිසියට හිමි වන නමුත් එම ක්‍රියාවලිය කොතරම් විනිවිදභාවයකින් යුතුව මානව හිමිකම් රකිමින් සිදු වන්නේ දැයි සොයා බැලීමට අවැසි යාන්ත්‍රණයක් පවතීදැයි සමාජයෙන් විශාල ප්‍රශ්නයක් මතු වෙයි.

පසුගියදා කිලිනොච්චිය, අම්පාර සහ මීගමුව ප්‍රදේශයේ දී පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයන් දින කිහිපයකට පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මතු වූ බවට වාර්තා පළ විය.

මෙම සිදුවීම් නීති විරෝධී ලෙස සිදු කෙරෙන පොලිස් පැහැර ගැනීම් ලෙස චෝදනා කරමින් උද්ඝෝෂණයේ යෙදුනු පිරිස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් අත්සන් තැබූ ලිපියක්ද අම්පාර දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය පොලිස් පති සහ දිස්ත්‍රික් ලේකම්වරයාට ලබා දීමට කටයුතු කළහ.

බීබීසී යෙන්