ඇමරිකානු ජනාධිපතිවරණය: ට්‍රම්ප් ගේ රැළියකදී කලහකාරී විරෝධතාවක්

Protesters disrupt Trump rally in Albuquerque on 24 May 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

නව මෙක්සිකෝ හි ඇල්බර්කර්කි සංගම් මධ්‍යස්ථානය තුළට පැමිණි විරෝධතාකරුවෝ රැළියට බාධා කළහ

ඇමරිකාවේ නව මෙක්සිකෝ හි ඇල්බර්කර්කි සංගම් මධ්‍යස්ථානය තුළ පැවති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ රැළියකට බලහත්කාරයෙන් ඇතුල් වූ විරෝධතාකරුවන් පිරිසක් ගිනි තැබූ ටී ෂර්ට් සහ බෝතල් විසිකරමින් පොලීසිය සමග ගැටෙමින් කලහකාරී ලෙස හැසිරුණු බව වාර්තාවේ.

කැරළිමර්ධන පොලීසිය දුම් අත්බෝම්බ යොදාගෙන කැරලිකරුවන් පාලනය කිරීමට උත්සාහ කළ ද ඔවුහු ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ කතාවට ද බාධා කළහ.

Protest outside Trump rally in Albuquerque on 24 May 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

විරෝධතාකරුවෝ ට්‍රම්ප් විරෝධී පුවරු ප්‍රදර්ශනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු බවයි වාර්තාවන්නේ.

නොවැම්බරයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස නාම යෝජනා ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් බලයට පැමිණි පසු මෙක්සිකෝ දේශ සීමාව හරහා තාප්පයක් බඳින බවයි පවසා ඇත්තේ.

ඇමරිකාවේ ස්පාඤ්ඤ ජාතිකයන් වැඩිම ප්‍රමාණයක් ජීවත්වන ප්‍රාන්තය වන්නේ නව මෙක්සිකොවයි.

'ට්‍රම්ප් ඒකාධිපතිවාදියෙක්, අපි ඔහුට සවන් දුන්නා ඇති' යන අදහසින් යුත් වැකි ලියූ බැනර් ඔසවාගෙන විරෝධතාකරුවෝ ඇල්බර්කර්කි සංගම් මධ්‍යස්ථානය තුළට පැමිණ සිටියහ.

රැළියට සහභාගී වූ 4000 ක් පමණ වූ පිරිසක් අමතමින් ඩොනල්ඩ් ට්‍රම්ප් විරෝධතාකරුවන්ට පිළිතුරු දුන්නේ සුපුරුදු දැඩි ස්වරයෙනි.

'මේ දරුවාගේ වයස කීයද? තාමත් පැම්පර්ස් අඳිනව නේද?' යනුවෙන් ඔහු විමසුවේ විරෝධතාවට පැමිණි අයෙකුගෙන්.

Trump supporter in wig at Albuquerque rally on 24 May 2016

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය,

එහෙත් තවත් බොහෝ පිරිසක් ඩොනල්ඩ් ට්‍රම්ප් ට සහය පළකරමින් මධ්‍යස්ථානය තුළ රැඳී සිටියහ.

ඔහු අනෙකුත් විරෝධතාකරුවන්ට පැවසුවේ 'කරුණාකර ගෙදර ඉන්න අම්ම ලඟට යන්න' යනුවෙනි.

ඇල්බර්කර්කි රැළිය ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව මෙක්සිකෝ රැස්වීම් මාලාවේ පළමුවැන්නයි.

නව මෙක්සිකෝවේ රිපබ්ලිකන් පක්ෂ ආණ්ඩුකාරවරියවන සුසානා මාර්ටිනස් ට්‍රම්ප්ගේ සංක්‍රමණිකයන් පිලිබඳ මතවාද විවේචනයට ලක්කළ අතර ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂත්වයට සහය පළකරන්නේදැයි තවමත් පවසා නැත.

ඇය සහ රිපබ්ලිකන් පක්ෂයේ අනෙකුත් ජේෂ්ඨ සාමාජිකයන් අඟහරුවාදා රැළියට පැමිණ නොසිටියහ.