මූල්‍ය අපරාධ චෝදනා ලද බංග්ලාදේශ් චූදිතයන් සිරගත කෙරෙයි

Image caption IS කරලිකරුවෙක්

සිංගපූර් අධිකරණයක් මූල්‍ය අපරාධ චෝදනා ලද බංග්ලාදේශ ජාතිකයන් හය දෙනෙකු එම චෝදනාවලට වරද කරුවන් වන බව තීන්දු කර ඇත.

ත්‍රස්තවාදී කටයුතු වෙනුවෙන් මුදල් ලබා දීම, සිය දේපළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා යෙදවීම යන චෝදනා වලට චූදිතයන් වරදකරුවන් වන බවයි අධිකරණය තීන්දු කර තිබෙන්නේ.

මෙයින් සති කිහිපයකට පෙර සිංගපූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ චූදිතයන් අතර අවුරුදු විසි හයත්- තිස් එකත් අතර බංග්ලාදේශ් තරුණ සංක්‍රමණික කම්කරුවන් සිටින බවයි වාර්තා වන්නේ.

ඔවුන් සිංගපූර්හි ඉදි කිරීම් සහ නැව් පිළිසකර කිරීම් අංශ වල රැකියාවන්හි නිරතවූවෝ වූහ.

බංග්ලාදේශය තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔවුන් සැලසුම් කරමින් සිටි බවටයි සිංගපුර් පොලිසිය චෝදනා කරන්නේ.

එහෙත් සිංගපූර්හි ප්‍රහාරයක් එල්ල කිරීමේ වැඩ පිළිවෙලක් ඔවුන් තුළ තිබුණ බවට සාක්ෂි නොමැත.

පොලිස් සෝදිසි කිරීම් වලදී චූදිතයන් ළඟ තිබී මුදල් බෝම්බ සැදීමට අවශ්‍ය ද්‍රව්‍ය අත්අඩංගුවට ගන්නා ලද බව සිංගපූර් පොලිසිය පවසයි.

Image caption චූදිත බංග්ලාදේශ් ජාතිකයන්

'බංග්ලාදේශ් ඉස්ලාම් රාජ්‍යය'(ISB) නමින් සංවිධානයක් ගොඩ නැගීමට ඉහත කී කණ්ඩායම සැලසුම් කරමින් සිටින බවටත් චෝදනා කෙරෙයි.

චූදිතයන් සිරියාවට පිවිසීමට උත්සාහ කළත් ඒ සඳහා පවතින දුෂ්කර තත්වය හමුවේ සිංගපූර් සිට යළිත් බංගලාදේශයට ගොස් එරට ආණ්ඩුව පෙරලා දැමීමට කුමන්ත්‍රණය කරමින් සිටි බවට සහ ඒ සඳහා තෝරා ගත් ස්ථාන ඉලක්ක කොට පහර දීමේ සැලැස්මක් අනුව ක්‍රියා කරමින් සිටි බවටත් චෝදනා කෙරෙයි