චැඩ් හිටපු නායකයා දිවි ඇති තෙක් දඟගෙට

Hissene Habre
ඡායාරූප ශීර්ෂ වැකිය,

චැඩ් රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ

චැඩ් රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කොට ඇති බව තීන්දු කළ සෙනගාලයේ අධිකරණයක් ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම් ලබා දී තිබේ.

එක්දහස් නවසීය අසූ දෙක වසරේ සිට එක්දහස් නවසීය අනූව දක්වා වූ පාලන කාලය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික වහල් සේවය සහ ඝාතන සිදු කිරීමට නියෝග ලබා දීම යන චෝදනා වලට ඔහු වරදකරු බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

නඩු තීන්දුව ලබා දීමත් සමග අධිකරණ ශාලාව තුළ සිටි පීඩාවට ලක් වූවන් සහ ඝාතනයට ලක් වූවන්ගේ ඥාතීන් ජය ඝෝෂා කරමින් එකිනෙකා සිප වැළඳ ගත්හ.

පුද්ගලයන් හතළිස් දහසකගේ ඝාතනවලට නියෝග ලබා දුන් බවට එල්ල වන චෝදනා චැඩ් රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ ප්‍රතික්ෂේප කරයි.

ඉතා ප්‍රබල ඉදිරි පියවරක්

චැඩ් රාජ්‍යයේ හිටපු නායක හිසෙයින් හබ්රේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබන හිටපු රාජ්‍ය නායකයෙකුට එරෙහි නඩුවක් අප්‍රිකානු හවුලේ උදව් ලබන අධිකරණයක් විසින් විභාග කෙරුණු පළමු වතාව මෙයයි.

හිටපු නායක හිසෙයින් හබ්රේට මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට ලැබෙන්නේ දින පහළොවක කාලයකි.

නඩු විභාගය පැවැත්වෙන කාලය පුරාම මෙම අධිකරණයේ ආධිපත්‍ය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ හබ්රේ දිගින් දිගටම අධිකරණ කටයුතු වලට බාධා කරමින් ක්‍රියා කළ බවයි පැවසෙන්නේ.

හිසෙයින් හබ්රේ දෝෂ දර්ශනයට ලක් කරන්නන් විසින් හඳුන්වනු ලැබුවේ "අප්‍රිකාවේ පිනෝෂේ" යනුවෙනි.

යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහිව සිදු කරනු ලබන අපරාධ වලට වග කිව යුතු අප්‍රිකානු නායකයන් එම කලාපයේ අධිකරණයක් වෙත පමුණුවා යුක්තිය ඉටු කිරීමේ ඉතා ප්‍රබල ඉදිරි පියවරක් ලෙස මෙම නඩු විභාගය සැලකිය හැකි බවයි ක්‍රියාධරයන් පවසන්නේ.