නැගෙනහිර මහ ඇමතිට එරෙහි 'තහංචි ඉවතට'

ඡායාරූප මූලාශ්‍රය, Nazeer Ahamed/FB
නැගෙනහිර පළාත් මහ ඇමති නසීඩ් අහමඩ්
නැගෙනහිර පළාත් මහ ඇමති නසීඩ් අහමඩ් සහභාගී වෙන උත්සව වර්ජනය කිරීමට සහ ඔහු යුද හමුදා කඳවුරුවලට ඇතුළු වීම නතර කරවීමට ආරක්ෂක හමුදා විසින් ගෙන තිබුණ තීරණය ඉවත් කළ බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර පවසයි.
නැගෙනහිර පළාතේ මහ ඇමති හෆීස් නසීර් අහමඩ් විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙත යවන ලද ලිපියක් සැලකිල්ලට ගනිමින් මහ ඇමතිවරයා නාවික හමුදා කඳවුරුවලට ඇතුළු වීම සහ ඔහු සහභාගී වෙන උත්සව වර්ජනය කිරීමට ගෙන තිබුණ තීරණය නාවික හමුදාපතිවරයා විසින් ඉවත් කර ගන්නා ලද බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලවි බීබීසියට කියා සිටියේ.
නැගෙනහිර මහ ඇමතිවරයා සහ ආරක්ෂක අංශ අතර සබඳතා පිරිහුණ තත්වයක් ඇති වුණේ සාම්පූර්හි පාසල් උත්සවයක් අවස්ථාවේ හට ගත් සිදු වීමකිනි.
ඡායාරූප මූලාශ්‍රය, Suneth Perera
මහ ඇමතිවරයා සාම්පූර් පාසලේ දී
නැගෙනහිර පළාතේ ආණ්ඩුකරු සහ ඇමෙරිකානු තානාපතිවරයා ද සහභාගී වූ එම උත්සවයේ දී අනුගමනය කළ යුතුව තිබුණ නිල කාර්ය පටිපාටිය නොතකා හරින ලද බවයි මහ ඇමතිවරයා පවසන්නේ.
ආරක්ෂක අංශ විසින් තමාට එරෙහිව පනවා තිබුණ තහංචිය ඉවත් කරනු ලැබීම සම්බන්ධයෙන් බීබීසියට ප්‍රකාශයක් කරමින් මහ ඇමති නසීඩ් අහමඩ් කියා සිටියේ 'එම තීරණය ගැන තමා සතුටු වන අතරම එවැනි තීන්දුවක් ගැනීම සහ යළි එය ඉවත් කර ගනු ලැබීම ආරක්ෂක අංශ වල කාර්යයක්' වන බවයි.