වීඩියෝ: පන්සලෙන් කොටි ඉවත් කළ හැටි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පන්සලෙන් ඉවත් කෙරුණ ව්‍යාඝ්‍රයන් වන සතුන් සඳහා වූ අනාථාගාරයක් වෙත ගෙන ගිය බවයි බලධාරීන් පවසන්නේ.

සතුන්ට වද හිංසා පැමිණවීම සහ අනවසරයෙන් වන සතුන් රඳවා තබා ගැනීමේ චොදනා ලද තායිලන්තයේ කොටි පන්සලෙන් ව්‍යාඝ්‍රයන් ඉවත් කිරීමේ මෙහෙයුමක් එරට වන සංරක්ෂණ නිලධාරීන් විසින් සිදු කරනු ලැබීය.

පන්සලේ රඳවා සිටි කොටි එකසිය තිස් හත් දෙනාගෙන් පළමු තුන් දෙනා එම ග්‍රහණයෙන් මුදවා ගෙන වෙනත් ස්ථානයකට ගෙන යාමට ඊයේ දිනයේදී (සඳුදා) වන ජීවී නිලධාරීහු සමත් වූහ.

වන ජීවී නිලධාරීන් දහසක් යොදා ගනිමින් සිදු කරනු ලබන මෙම මෙහෙයුමට සතියක කාලයක් ගත වනු ඇති බවයි පැවසෙන්නේ.

පන්සලේ ජීවත් වන බෞද්ධ භික්ෂූන් ප්‍රථමයෙන් ව්‍යාඝ්‍රයන් ඉවත් කිරීමේ කටයුතු වලට විරුද්ධතාව පළ කළ නමුත් පසුව වන සංරක්ෂණ නිලධාරීන් විසින් ඉදිරිපත් කළ උසාවි නියෝගය සැලකිල්ලට ගනිමින් නිලධාරීන්ගේ කටයුතු වලට ඉඩ ලබා දී තිබේ.

පන්සලෙන් ඉවත් කෙරුණ ව්‍යාඝ්‍රයන් වන සතුන් සඳහා වූ අනාථාගාරයක් වෙත ගෙන ගිය බවයි බලධාරීන් පවසන්නේ.

Image copyright AFP
Image caption කොටින් රඳවා සිටින කූඩු වලින් ඔවුන් ඉවත් කිරීම සඳහා නිර්වින්ධක ඖෂධ ලබා දීමට සිය එන්නත් උපකරණ සූදානම් කරන පශුවෛද්‍යවරු.
Image copyright AFP
Image caption නිර්වින්දක ඖෂධ ලබා දීමෙන් පසු කොටින් ගෝනි වලින් තැනූ මැස්සක ආධාරයෙන් ලොරි වෙත ගෙන යාමට වන ජීවී නිලධාරීහු පියවර ගත්හ.
Image copyright EPA
Image caption තායිලන්තයේ 'කාන්චනාබූරී' පළාතේ පිහිටි මෙම බෞද්ධ විහාරස්ථානයේ වෙසෙන සුරතල් කොටින් නැරඹීමට විශාල සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන බවයි පැවසෙන්නේ.
Image copyright Reuters

කොටි පන්සලට සංචාරකයන් ඇතුළුවීමේ දී මුදල් ඇය කිරීම තායිලන්ත රජයෙන් තහනම් කර තිබුනත් පන්සලට පැමිණෙන සංචාරකයන්ට කොටින් සුරතල් කිරීමටත්, ව්‍යාඝ්‍රයන් අසල හිඳ ඡයාරූප ගැනීමටත් ඔවුන්ට ආහාර ලබා දීමටත් පන්සලට යම් මුදලක් ගෙවිය යුතුව තිබිණි.

ප්‍රංශ පුවත් සේවයට අදහස් දැක්වූ තායිලන්ත වනජීවී නිලධාරීන් පවසා තිබෙන්නේ මින් පෙර කිහිප වරක් කොටින් පන්සලෙන් ඉවත් කිරීමට සිය නිලධාරී කණ්ඩායම උත්සාහ කළත් එම කටයුත්තට පන්සලේ භික්ෂූන් විරුද්ධ වූ බැවින් මෙවර ඒ වෙනුවෙන් උසාවි නියෝගයක් ලබා ගැනීමට කටයුතු කළ බවයි.

Image copyright AFP
Image caption පන්සල් භුමිය තුළ සත්ව උද්‍යානයක් පිහිටුවීමට එහි කළමනාකාරිත්වය උත්සාහ කළත් අවශ්‍ය තරමින් සම්පත් සපයා ගැනීමට නොහැකි වීම නිසා එම සැලසුම් අඩාළ විය.
Image copyright Reuters
Image caption වන සතුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් චෝදනා කරන්නේ පන්සලේ කළමනාකාරිත්වය ව්‍යාඝ්‍රයන් අනවසරයෙන් කළු වෙළඳපොළේ විකිණීමේ යෙදුනු බවටයි.