සමූහ දුෂණයට එරෙහිව බ්‍රසීලයේ උද්ඝෝෂණ
පසුගිය සතියේ බ්‍රසීලයේ රියෝ දි ජෙනේරෝ නගරයේ වයස අවුරුදු දාසයක දැරියක් පුද්ගලයන් තිස් තුන් දෙනෙකු විසින් සමූහ දූෂණයට ලක් කිරීමේ සිදු වීමෙන් පසු මේ වන විට රට පුරා ප්‍රධාන නගර එකොළහක කාන්තා හිංසනයට එරෙහිව උද්ඝෝෂණ පැවැත්විණි.
බ්‍රසීලය තුළ 2014 වසරේ පමණක් වාර්තා වී ඇති දූෂණ සිදුවීම් ගණන පනස් දහසක්.
කෙසේ වෙතත් බලධාරීන් බිය පළ කරන්නේ විවිධ හේතුන් මත ආරක්ෂක අංශ හෝ වගකිවයුතු ස්ථාන වලට වාර්තා නොවී තවත් ඉතා විශාල ප්‍රමාණයක දූෂණ සිදුවීම් සිදු වෙමින් පවතින බවටයි.
රියෝ දි ජෙනේරෝ නගරයේ පැවති විරෝධතා රැලි වලට සහභාගී වූ කාන්තාවන්ගෙන් අදහස් විමසූ බීබීසි වාර්තාකාරිණි ජුලියා කර්නෙයිරෝ ඉදිරිපත් කළ වාර්තාවක් ඇසුරින් සැකසූ හඬ පටයට සවන් දෙන්න.
ප්‍රහාරකයන් විසින් දැරිය නිරුවත්ව වැතිර සිටින අයුරු ඡායාරූපයට නගා සමාජ මාධ්‍ය ජාල වල ප්‍රචාරය කරනු ලැබීමෙන් පසුයි ආරක්ෂක අංශ වලට සිදුවීම වාර්තා වුනේ.
වෛද්‍ය ප්‍රතිකාර ලැබීමෙන් ශාරීරික තුවාල වල යම් සුවයක් ලබමින් සිටින දැරිය සිය බිහිසුණු අත්දැකීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යට විස්තර කර තිබුණි.
සමූහ දුෂණයට ලක් වූ දාසය හැවිරිදි දැරියට ඇය දූෂණය ප්‍රහාරකයන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති අතර සිය පවුලේ සාමාජිකයන් සමග රියෝ දි ජෙනේරෝ හැර ගොස් සිටින ඇය මේ වන විට පසු වන්නේ පොලිස් ආරක්ෂාව යටතේයි.