ට්‍රම්ප් අනතුරුදායක ව්‍යාකුල චරිතයක් - හිලරි

හිලරි සහ ට්‍රම්ප්

මෙවර ඇමරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් 'ඉතාමත් අනතුරුදායක මට්ටමේ ව්‍යාකුල චරිතයක්' බව හිලරි ක්ලින්ටන් පවසයි.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් මේ බව කියා සිටියේ කැලිෆෝනියාවේ ඩොනල්ඩ් ට්‍රම්පට එරෙහිව පැවති විරෝධතාවයක සිටි පිරිස් ඔහුට සහය දක්වන කණ්ඩායම් සමග ඇති කරගත් ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය කියා සිටියේ ඇමරිකාවේ ජනාධිපතිවරයා වීමට ට්‍රම්ප් සුදුසු නැති අතරම ඔහුගේ මැතිවරණ ප්‍රචාරණය 'ඓතිහාසික අත්වැරැද්දක්' බවයි.

Trump and Clinton t shirts

ඡායාරූප මූලාශ්‍රය, AFP

එම ප්‍රකාශ වලට ප්‍රතිඋත්තර ලබා දුන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් ධුරය දැරූ කාලය ඇතුළත ඉතා විශාල වශයෙන් අසාර්ථක වී ඇති බැවින් ඇය කෙරෙහි පැවති විශ්වාසනීයත්වය අහිමි වී ඇති බවයි.

කැලිෆෝනියාවේ ශාන්ත හෝසේ හි පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රැලියකට පිටත හටගත් ට්‍රම්ප් විරෝධී උද්ඝෝෂණයකට සහභාගී වූ විරෝධතාකරුවන් සහ ඔහුට සහය දක්වන පිරිස් අතර ඉතා දරුණු ගැටුම් ඇති වී තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහය දක්වන පිරිස් වලට විරෝධතාකරුවන් විසින් බිත්තර ප්‍රහාර එල්ල කරනු ලැබ තිබේ.