බංගලාදේශයේ හින්දු ආශ්‍රමයක සේවකයෙකු ඝාතනය කෙරෙයි

Bangladesh border guards direct traffic in Dhaka

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් ඝාතනය කිරීමේ රැල්ල හේතුවෙන් බංග්ලාදේශය පුරා ආරක්ෂාව තර කොට තිබේ

හින්දු ආශ්‍රමයක සේවකයෙකු කපා කොටා මරා දමා ඇති බව බංග්ලාදේශ පොලීසිය පවසයි.

අනාගමික සහ සුළු ආගමික පුද්ගලයන් සහ ඔවුන්ට සහය පළ කරන්නන් ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවක නවතම සිදුවීම මෙයයි.

පුද්ගලයන් කිහිපදෙනෙකු විසින් කරන ලද ප්‍රහාරයෙන් පසු වයස අවුරුදු 60 ක් වන නිත්‍යරාජන් පාන්ඩේ එම ස්ථානයේ දීම මියගිය බවයි පොලීසිය උපුටා දක්වමින් AFP පුවත්සේවය වාර්තා කරන්නේ.

පසුගිය අඟහරුවාදා කඳින් හිස වෙන්වන තරමට ගෙළ සිඳ මරා දැමූ හින්දු පුජකවරයෙකුගේ මළ සිරුරක් කුඹුරක තිබී හමුවීමෙන් පසුවයි මෙම නවතම ඝාතනය සිදුවී ඇත්තේ.

මේ දක්වා සිදුවූ ඝාතන රැල්ල වෙනුවෙන් ඉස්ලාම් සන්නද්ධකරුවන් චෝදනාවට ලක්වූ අතර ඇතැම් ඝාතන වල වගකීම ඔවුන් විසින් භාර ගෙන තිබුණි.

ඊසානදිග පබ්නා දිස්ත්‍රික්කයේ පොලිස්පති ආම්ගීර් කබීර් AFP පුවත්සේවයට පැවසුවේ උදෑසනින්ම සිදුවූ මෙම ඝාතනය පිලිබඳ ඇසින් දුටු සාක්ෂි නැති බවයි.

මෙම ඝාතනයේ වගකීම කිසිදු කණ්ඩායමක් විසින් තවමත් භාරගෙන නැත.

Activists demonstrate following the murder by suspected Islamists of a law student in Bangladesh, 8 April 2016

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

අනාගමික අන්තර්ජාල මාධ්‍ය කරුවකු සහ නීති ශිෂ්‍යයෙකු මේ ආකාරයෙන් මරා දැමීම පිළිබඳව විරෝධතා විටින් විට තවමත් පැවැත්වේ

මෙවර ඝාතනයට ලක්වූ පාන්ඩේ වසර හතළිහක් පමණ මෙම ආශ්‍රමයේ සේවය කරමින් සිට ඇති අතර උදෑසන ආශ්‍රමය වෙත ගමන්කරමින් සිටියදීය ඝාතනයට ලක් වුයේ.

ප්‍රාදේශීය රාජ්‍ය නොවන සංවිධානයක සේවකයෙකු වන නරේෂ් මධු මාධ්‍යයට පවසා තිබුණේ මියගිය පාන්ඩේ සරල ගති පැවතුම් ඇති අයෙක් වූ අතර ඔහුට සතුරන් නොසිටි බවයි.

මේ ඝාතනය සිදුවී තිබුණේ ආශ්‍රමයට ඉතා ආසන්න ප්‍රදේශයකදීය.

අනාගමික මාධ්‍යකරුවන්, විද්වතුන් සහ සමලිංගික ක්‍රියාධරයන් ඇතුළු 40 දෙනෙකුට වැඩි පිරිසක් පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ඝාතනයට ලක්වී තිබේ.

බංග්ලාදේශයේ වැඩි ජනගහනය මුස්ලිම් ජාතිකයන් වන අතර හින්දු ආගමිකයන් වෙසෙන්නේ 8% ක් පමණි.