යූරෝ 2016: 'මත්පැන් නැතිව ක්‍රීඩා ලෝලීන් කුපිතව'

Angry football fans gathered in Marseille

'යූරෝ 2016' පාපන්දු තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අසල සහ නරඹන්නන් වෙනුවෙන් වෙන් කර ඇති කලාප වල මත්පැන් වෙළඳාම නවතා දැමීමට ප්‍රංශ රජය ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

ඒ සමග මාර්සෙල් නගරයේ දින තුනක් පුරා ක්‍රීඩා ලෝලීන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ඇවිලෙමින් පවතියි.

පසුගිය සෙනසුරාදා එංගලන්තය සහ රුසියාව අතර තරඟය ජය පරාජයකින් තොරව අවසන් වීමත් සමග රුසියානු කණ්ඩායමට සහය දැක්වූ ක්‍රීඩා ලෝලීන් එංගලන්ත ක්‍රීඩා ලෝලීන් සමග ගැටුමක් ඇති කර ගත් අතර මේ වන විට යුරෝපා පාපන්දු සංගම් සම්මේලනය ඒ පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

යුරෝපා පාපන්දු සංගම් සම්මේලනය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කරනු ලැබ තිබෙන අතර කියා සිටින්නේ නැවතත් ක්‍රීඩා ලෝලීන් අතර යම් ගැටුම්කාරී තත්වයක් වාර්තා වුවොත් කණ්ඩායම් දෙකම තරගාවලියෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

එළඹෙන බ්‍රහස්පතින්දා එංගලන්ත කණ්ඩායම නැවතත් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති අතර ක්‍රීඩාංගනය සහ නරඹන්නන් ගැවසෙන කලාප වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස්බට කණ්ඩායම් ලබා දීමට සුදානම් බව එංගලන්ත රජය ප්‍රකාශ කර තිබේ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

රුසියානු පාපන්දු කණ්ඩායමට සහය දක්වන ක්‍රීඩා ලෝලීහු අනවසරයෙන් තරග භූමියට ගිනිකෙළි රැගෙනවිත් තිබූ අතර තරගය අවසානයේ ප්‍රීතිඝෝෂා නගමින් ගිනිකෙළි දල්වූහ.

'අනුමත කළ නොහැකි වාතාවරණයක්'

තරඟ පැවැත්වෙන දිනයේ සහ ඊට පෙර දිනයේ දී ක්‍රීඩාංගන තුළ සහ ක්රෙදා ලෝලීන්ට වෙන් කර ඇති කලාප වල මත්පැන් විකිණීම, ප්‍රවාහනය සහ පානය කිරීම වැලක්වීමට අවශ්‍ය සියලුම විධිවිධාන ක්‍රියාත්මක කිරීමට ප්‍රංශ රජය පියවර ගන්නා බවයි එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා කියා සිටියේ.

පාපන්දු ලෝලීන්ට රටේ ආරක්ෂක අංශ වලට මෙන්ම සමාජයටත් විශාල බලපෑමක් එල්ල වූ අවස්තාවක් ලෙස මාර්සෙල් නගරයේ ඇතිවී තිබෙන ගැටුම්කාරී තත්වය පෙන්වාදිය හැකි බව පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ තත්වය මැඩලීමට ආරක්ෂක අංශ වලට උපදෙස් ලබා දී ඇති බවයි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

රුසියානු ක්‍රීඩා ලෝලීන් සහ එංගලන්ත ක්‍රීඩා ලෝලීන් අතර ගැටුමක්

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇතැම් ක්‍රීඩා ලෝලීන් සිය කමිස භාවිතා කරමින් සිය මුහුණු ආවරණය කරගෙන සිටි අයුරු