ඉතිහාසය අළුතින් ලියන විලියම් කුමරු

Image caption විලියම් කුමරු

බ්‍රිතාන්‍ය ඔටුන්නට හිමිකම් කීම අතින් දෙවන තැන සිටින විලියම් කුමරු සමලිංගික ජනයා වෙනුවෙන් පළ කෙරෙන සඟරාවක පිට කවරය සඳහා තෝරා ගනු ලැබ ඇත.

ඔවුන්ගේ ලිංගිකත්වය හේතු කර ගනිමින් සමරිසි ප්‍රජාවට එරෙහිව සිදු කෙරෙන හිරිහැර වලට එරෙහිව එමගින් පණිවුඩයක් දෙයි.

Attitude (ආකල්ප)නම් එම සඟරාවට අදහස් දක්වමින් විලියම් කුමරු කියා සිටියේ සමලිංගික පුරුෂයන් ,කාන්තාවන් සහ ද්විලිංගික සහ ලිංගිකත්වය අතින් සංක්‍රමනීය අවස්ථාවක සිටින්නන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාෂයන් සම්බන්ධයෙන් සාඩම්බර විය යුතු බවයි.

විලියම් කුමරු සමරිසි සඟරාවක පිට කවරය සැරසූ බ්‍රිතාන්‍ය රජ පවුලේ පළමු සාමාජිකයා හැටියට ඉතිහාසයට එක් වෙයි.

Image caption විලියම් කුමරු කෙන්සිංටන් මාළිගය තුළ දී සඟරාවේ කතුවරුන් සමඟ සමරිසි නියෝජිතයන්ට සවන් දෙමින්.

පසුගිය මාසයේ ලන්ඩන් නගරයේ පැවැත්වුන සමුළුවකට සහභාගී වූ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරාට සමරිසි ප්‍රජාව මුහුණ දෙන හිරිහැර පිළිබඳව අසන්නට ලැබුණි.

එවැනි හිරිහැර සමරිසි ප්‍රජාවගේ මානසික සෞඛ්‍යයට බලපාන බවයි එම සමුළුවේ දී ප්‍රකාශ වුණේ.

පසුගිය සතියේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සමරිසි සමාජ ශාලාවකට වෙඩි තබා සිදු කෙරුණ මනුෂ්‍ය ඝාතනය වාර්තා වීමෙන් අනතුරුව සිය බිරිඳ වන කේම්බ්‍රිජ් ආදිපාදවරිය සමඟ අඟහරුවාදා (14) ලන්ඩන් නගරයේ එක්සත් ජනපද තානාපති කාර්යාලයට ගිය විලියම් කුමරු එම වෙඩි තැබීමෙන් මරා දැමුණ ජනයා වෙනුවෙන් කනගාටුව පළ කිරීමේ පුස්තකයේ ශෝක සටහනක් ද තැබීය.