IS සංවිධානයට වර්ග සංහාර චෝදනා

Image copyright Reuters
Image caption 2014 වසරේ දී ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කරුවන් සින්ජාර් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරද්දී දහස් ගණන් යසිදි ජනයා එම ප්‍රදේශය අතහැර පලා ගියහ

ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ඉරාකයේ හා සිරියාවේ සිටින යසිදි ප්‍රජාවට එරෙහිව වර්ග සංහාරයක් සිදු කරන බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ පරීක්ෂකයෝ චෝදනා කරති.

එක්සත් ජාතීන් මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ ප්‍රථම වතාවටයි.

යසිදි ප්‍රජාවට අයත් පිරිමින් මරා දැමීම, ගැහැණුන් හා ළමුන් වහලුන් බවට පත් කිරීම සහ ඔවුන්ගේ සාම්ප්‍රදායික විශ්වාසයන් තහනම් කිරීම තුළින් එම ප්‍රජාව සම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට ඉස්ලාමීය රාජ්ය සටන් කරුවන් උත්සාහ දරන බවයි එම කොමිසම පවසන්නේ.

තුන් දහසකට වැඩි යසිදි ගැහැණුන් හා ළමුන් ලිංගික වහලුන් ලෙස විකුණා ඇති බව ද වාර්තා වෙයි.

මෙම සිද්ධිය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යා යුතු බව ඇතැම් විශේෂඥයෝ පවසති.

අපරාධකරුවන්ගේ නම්, ස්ථාන හා සිදුවීම් ආදී සවිස්තරාත්මක තොරතුරු තමන් ළඟ තිබෙන බවයි ඔවුන් කියා සිටින්නේ.

යසිදි ප්‍රජාවට උදව් කිරීමට ලෝක බලවතුන් වැඩි යමක් කළ යුතුව ඇති බව එම විශේෂඥයෝ කියා සිටිති.

බීබීසී යෙන්