ෆලුජා නගරය 'ඉරාක හමුදා අතට'

Iraqi soldiers walk through central Falluja (17 June 2016) Image copyright Reuters
Image caption අයිඑස් කැරලිකරුවන් ෆලුජා නගරයෙන් පලා යන බව ඉරාක බලධාරීහු පවසති

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අත පවතින ෆලුජා නගරයෙන් වැඩි කොටසක බලය යළි අත්පත් කර ගැනීමට ඉරාක ආණ්ඩුවේ හමුදා සමත් වී ඇති බව එරට බලධාරීහු පවසති.

තවමත් නගරයේ ඇතැම් ප්‍රදේශ අයිඑස් පාලනයේ පවතින බැවින් තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති බවයි ඇමරිකානු ආරක්ෂක ලේකම් ඈෂ් කාටර් ප්‍රකාශ කළේ.

ඉරාක විශේෂ හමුදා ඒකකයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් හයිදර් අල් ඔබේදී ඒඑෆ්පී පුවත් සේවයට පවසා ඇත්තේ ෆාලුජා නගරයේ භූමි ප්‍රමාණයෙන් සියයට අසූවක් ආණ්ඩුවේ හමුදා පාලනයේ පවතින බවයි.

බැග්ඩෑඩ් අගනුවර සිට සැතපුම් තිහක් දුරින් පිහිටි ෆලුජා නගරය අයිඑස් කැරලිකරුවන් අතට පත් වූයේ 2014 වසරේ ජනවාරි මාසයේදී.

මේ අතර ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය අත පවතින මොසුල් නගරයේ දකුණු ප්‍රදේශයේ බලය තහවුරු කර ගනිමින් සිය හමුදා ඉදිරියට ගමන් කරන බවත් ඉරාක හමුදා පවසයි.

මොසුල් නගරයෙන් සැතපු හතළිස් තුනක් පමණ දුරින්, ටයිග්‍රිස් නදි තීරයේ පිහිටා ඇති අල් කයාරා නගරය ඉහත කී හමුදා භට කණ්ඩායම්වල ඉලක්කය වී තිබේ.

අල් කයාරා නගරයේ මූලෝපාය වශයෙන් වැදගත් ගුවන් පර්යන්තයක් පිහිටා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර