හිසට වෙඩි කා පශු වෛද්‍යවරුන් සොයා ආ ඇත් රජු

Elephant pictured with a hole in its head

ඡායාරූප මූලාශ්‍රය, Aware Trust Zimbabwe

ඡායාරූප ශීර්ෂ වැකිය,

සති තුනක සිට සති හයක දක්වා කාලයක් ඇතාගේ හිස තුළ වෙඩි උණ්ඩය තිබී ඇති බවට විශ්වාස කෙරේ

දඩයක්කාරන් යයි සැක කෙරෙන්නන් විසින් හිසට එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා සිටින වන ඇතෙකුට සිම්බාබ්වේ වන සංරක්ෂණ කණ්ඩායමක් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙමින් සිටිති.

'Aware Trust Zimbabwe' නමැති වන සංරක්ෂණ කණ්ඩායමේ පශු වෛද්‍යවරු විසින් ඉහත කී ඇතා සොයා ගනු ලැබ ඇත්තේ 'මනා පූල්ස්' ජාතික වනෝද්‍යානය තුළ සිටියදී.

සති තුනක සිට සති හයක දක්වා කාලයක් ඇතාගේ හිස තුළ වෙඩි උණ්ඩය තිබී ඇති බවයි වෛද්‍යවරුන්ගේ විශ්වාසය වන්නේ.

'මනා පූල්ස්' ජාතික වනෝද්‍යානය දීර්ඝ කාලයක සිට දළ ලබා ගැනීම සඳහා අලි ඇතුන් මරා දමන දඩයම්කරුවන්ගේ ගොදුරු බිමක් වී ඇත.

සිහිසන් කරන ලද වන ඇතුගේ හිසේ එක්ස් රේ පිටපත් ලබා ගත් වෛද්‍ය කණ්ඩායම හිසෙහි වූ තුවාලය පිරිසිදු කළහ.

Elephant sedated and lying on its side

ඡායාරූප මූලාශ්‍රය, Aware Trust Zimbabwe

ඡායාරූප ශීර්ෂ වැකිය,

'උදව් කිරීමේ අදහසින් අපි එහි ගිය බව දැන සිටියා වගෙයි ඇතා හැසිරුණේ'

Metal detector over elephant's head

ඡායාරූප මූලාශ්‍රය, Aware Trust Zimbabwe

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇතාගේ හිස සකෑන් කිරීම සඳහා යොදා ගනු ලබන උපකරණයක්

එහෙත් හිස තුළ වූ වෙඩි උණ්ඩය ඉවත් නොකොට එලෙසෙම තිබීමට ඉඩ හැරීම වඩාත් ආරක්ෂා සහගත බව සිය කණ්ඩායමේ විනිශ්චය වූ බවයි වෛද්‍ය ලීසා මරාබිනී බීබීසීයට කියා සිටියේ.

වයස අවුරුදු විසි පහක් පමණ වෙතැයි විශ්වාස කෙරෙන තුවාල ලද ඇතාට දිගටම ප්‍රතිකාර ලබා දීමට සිදු විය හැකි බවත් ඇය සඳහන් කළාය.

'වනෝද්‍යානයෙන් පිටත දී ඇතාට වෙඩි වැදී ඇතැයි අපි සිතනවා. ඉන් පසුව පිහිටක් පතා වනෝද්‍යානය තුළට ඇතුළු වෙන්න ඇති ' ඇය පවසන්නීය .

'Pretty Boy' යන සුරතල් නමින් හඳුන්වනු ලබන වන ඇතා පශු වෛද්‍ය කණ්ඩායම වෙතට ලං වූ බවත් කිසිදු කලහකාරි බවක් ප්‍රදර්ශනය නොකළ බවත් ඇය වැඩි දුරටත් කියා සිටියාය.

'උදව් කිරීමේ අදහසින් අපි එහි ගිය බව දැන සිටියා වගෙයි ඇතා හැසිරුණේ' වෛද්‍ය ලීසා මරාබිනී වැඩිදුරටත් සඳහන් කළාය.යේ.