ඉන්දුනීසියාවෙන් චීන බෝට්ටුවකට ප්‍රහාරයක්

Picture of Natuna fishermen
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දුනීසියාවේ නතුනා දූපත් වාසීන් බොහොමයක් ධීවර වෘත්තිය හෝ වගා කිරීම සිය ජීවනෝපාය කර ගනියි.

දකුණු චීන මුහුදේ අයිතිය සම්බන්ධයෙන් ගැටළු පවතින කලාපයට ඇතුළු වූ චීන ධීවර බෝට්ටුවකට ඉන්දුනීසියානු නාවික හමුදාව වෙඩි තැබූ බවට චීන රජය චෝදනා එල්ල කරයි.

ඊයේ (ඉරිදා) දිනයේදී සිදු කළ එම වෙඩි තැබීමෙන් චීන ජාතික ධීවරයෙකු තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙකු ඉන්දුනීසියානු බලධාරීන් භාරයේ රඳවාගෙන ඇති බවයි චීන විදෙස් අමාත්‍යංශය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ.

දකුණු චීන මුහුදේ පිහිටා ඇති ඉන්දුනීසියාවේ නතුනා දූපත් ආසන්නයේ මුහුදු කලාපයෙදීයි මෙම වෙඩි තැබීම සිදු වී තිබෙන්නේ.

චීන ධජය රැගත් බෝට්ටු කිහිපයක් දෙසට වෙඩි තැබීම් සිදු කළ බව ඉන්දුනීසියානු නාවික හමුදාව ප්‍රකාශ කළත් ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ වෙඩි තැබීමෙන් කිසිදු පුද්ගලයෙකු තුවාල නොලද බවයි.

මේ වන විටත් අදාළ ධීවරයන් ඉන්දුනීසියානු බලධාරීන් භාරයේ රඳවා සිටීදැයි සහතික කළ හැකි තොරතුරු තවමත් වාර්තා වී නොමැත.