ජනමත විමසුම සහ බ්‍රිතාන්‍යයේ ලාංකිකයෝ

Image caption බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීම වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන මෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති

බ්‍රිතාන්‍යය දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතුය යන්න සිය විශ්වාසය බව බ්‍රිතානයේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ප්‍රතිවාදී ශාඛා කණ්ඩායම් පවසති.

GSP + තීරුබදු සහනය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව යුරෝපා සංගමය වෙත අයදුම්පතක් භාර දී ඇති අතර, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වුවහොත් ශ්‍රී ලංකාවට ලැබෙන ආර්ථික වාසි බොහෝ දුරට අඩුවීමට ඉඩ තිබෙන බවයි එජාප බ්‍රිතාන්‍ය ශාඛාවේ මාධ්‍ය ලේකම් අසාහිම් මොහමඩ් බීබීසී සංදේශයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයට කෙරෙන අපනයනවලින් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයක් යොමු කරෙන්නේ බ්‍රිතාන්‍යයට බව විදේශ අමාත්‍ය මංගල සමරවීර විසින් පෙන්වා දී ඇති බවද ඔහු පැවසීය.

ඩයස්පෝරාව

ලොව මුහුණ දී සිටින සරණාගත ප්‍රශ්නයෙන් යුරෝපා සංගමයට සිදු කරන බලපෑම පිළිබඳව ඇතැමුන් අතිශයෝක්තියෙන් හුවා දක්වමින් සිටින බවයි, එජාප බ්‍රිතාන්‍ය ශාඛාවේ ප්‍රතිවාදී පාර්ශවයේ සභාපති නීතිවේදී හර්ෂක කන්නන්ගර මේ අතර බීබීසී සංදේශයට කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන විශාල ප්‍රමාණයක ගැනුම් කරු බ්‍රිතාන්‍යය බවද නීතිවේදී හර්ෂක කන්නන්ගර පෙන්වා දෙයි.

Image caption පක්ෂයක් හැටියට අපි කුමන අකාරයකටවත් ඒකට මැදිහත් වෙන්නේ නෑ - ජවිපෙ

යුරෝපා සංගමයට ශ්‍රී ලංකාවෙන් කෙරෙන අපනයන දිරිමත් කිරීමට සහ වර්ධනය කර ගැනීම් වස් බ්‍රිතාන්‍යයේ සහාය ඉතා වැදගත් සාධකයක් බැවින් බ්‍රිතාන්‍යය තවදුරටත් යුරෝපා සංගමයේ රැදී සිටීම ආර්ථිකමය වශයෙන් ශ්‍රී ලංකාවට වාසි සහගත වන බවත් එජාප ලන්ඩන් ශාඛාවේ පාර්ශව දෙකම වැඩිදුරටත් පවසයි.

බ්‍රිතාන්‍ය ජනමත විචාරණයෙන් ආසියාතික වෙළඳපොළට ඇති වන බලපෑම සහ යුරෝපා සංගමය තුළ රැඳී සිටීමෙන් ශ්‍රී ලංකාවට අත් වන වාසි පෙන්වා දෙමින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය තුළ රැඳී සිටීම වෙනුවෙන් සිය ඡන්දය භාවිත කරන මෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිති.

ජවිපෙ

කෙසේ නමුත් බීබීසී සංදේශය සමඟ අදහස් දැක්වූ සිංහල සහ දෙමළ ඩයස්පෝරා සංවිධාන කිහිපයක ප්‍රකාශකයන්ගේ අදහස වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම ශ්‍රී ලාංකිකයන්ටද වාසිදායක බවයි.

යුරෝපය සමඟ ඒකාබද්ධ වීමෙන් බ්‍රිතාන්‍යයට වාසි මෙන්ම අවාසිද තිබෙන බවයි බ්‍රිතානයේ ජනතා විමුක්ති පෙරමුණු ශාඛාවේ සභාපති දර්ශන හෙට්ටිආරච්චි මේ අතර පවසන්නේ.

කෙසේ නමුත් ජනමත විචාරණයේදී එම තීන්දුව ගත යුත්තේ බ්‍රිතාන්‍ය ජනතාව විසින්ය යන්න සිය පක්ෂයේ ස්ථාවරය බවද දර්ශන හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට පැවසීය.

"පක්ෂයක් හැටියට අපි කුමන අකාරයකටවත් ඒකට මැදිහත් වෙන්නේ නෑ," ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර