නවක වධකයන්ට මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා

Image copyright Media One
Image caption නවක වධයට ලක් වූ සිසුවියගේ ආහාර ජීර්ණ පද්ධතියට සිදු වී ඇති විශාල හානිය හේතුවෙන් ඇය ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඉන්දියාවේ පීඩිත දලිත් කුලයට අයත් සිසුවියකට නවක වධය ලබා දුන් විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනෙකුට එරෙහිව මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

පළමු වසරේ ඉගෙනුම ලැබූ හෙද සිසුවියක වූ අස්වතීට ජේෂ්ඨ සිසුන් දෙදෙනෙකු විසින් වැසිකිළි පිරිසිදු කිරීමට ගන්නා විෂබීජ නාශකයක් බීමට බල කොට ඇත.

එය පානය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු බලහත්කාරයෙන් ඇයට මෙම පිරිසිදු කිරීමට ගන්නා දියරය පෙවීම නිසා මේ වන විට අස්වතීගේ ආහාර ජීර්ණ පද්ධතියට විශාල හානියක් සිදු වී ඇති අතර ඇය ශල්‍යකර්මයකට භාජනය කළ යුතු බවයි වෛද්‍යවරු පවසන්නේ.

හෙද විද්‍යාලය විසින් සිසුන් දෙදෙනාට එල්ල වී ඇති චෝදනා සහ නවක වධය සිදුවීම ප්‍රතික්ෂේප කරන අතර කියා සිටින්නේ අස්වති සිය පවුලේ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අමනාපව ජීවිතය නැති කර ගැනීමේ උත්සාහයක් ලෙස විෂබීජ නාශකය පානය කර ඇති බවයි.

අස්වති විසින් කළ ප්‍රකාශයේ සඳහන් වන්නේ තමාට අඳුරු පැහැ සමක් තිබීම සම්බන්ධයෙන් නින්දා අපහාස කළ මෙම ජේෂ්ඨ සිසුන් 'අඟුරු' යන විසුළු නාමයෙන් තමා හැඳින්වූ අතර නවක වධය ලබා දෙමින් විෂභීජ නාශකය පානය කිරීමට තමන්ට බල කළ බවයි.

ඊට එරෙහි වූ පසු තවත් ජේෂ්ඨ සිසුන් කිහිප දෙනකු ඇය සිර කොට අල්ලා ගත් අතර චෝදනා ලද සිසුන් දෙදෙනා විසින් දියරය සිය මුඛයට බලහත්කාරයෙන් වත් කළ බවයි ඇය වැඩි දුරටත් කියා සිටියේ.

හානි වී ඇති අස්වතීගේ ආහාර ජීර්ණ පද්ධතිය වෙනුවෙන් සිදු කළ යුතු ශල්‍යකර්මයට පෙර සති හයක කාලයක් ඇයට රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදු වනු ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.