බ්‍රිතාන්‍ය ජනමත විමසුම: යුරෝපා නායකයන් 'දෙපිලකට බෙදිලා'

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්විය යුතු බවට බ්‍රහස්පතින්දා පැවති ජනමත විචාරණයේදී බහුතරයක් බ්‍රිතාන්‍යවාසීහු තීරණය කළහ. එම ප්‍රතිඵලයෙන් අනතුරුව සිකුරාදා දිනය පුරා බ්‍රිතාන්‍යයේ නවතම දේශපාලන ප්‍රවණතා සහ දෙස්, විදෙස් ප්‍රතිචාර මේ පිටුවෙන් ඉදිරිපත් කළෙමු. (මේ පිටුව තවදුරටත් යාවත්කාලීන නොකෙරේ)

17:35 - බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ ක්‍රියාදාමය පිළිබඳව යුරෝපා නායකයන් පැහැදිලිව කොටස් දෙකකට බෙදී සිටින බව කානගී යුරෝප් සංවිධානයේ අධ්‍යක්ෂ Jan Techau පවසයි.

ඔහු පවසන පරිදි හැකි ඉක්මනින් බ්‍රිතාන්‍යයට යුරෝපයෙන් වෙන්වීමට බල කළ යුතු බව එක් කණ්ඩායමක මතයයි.

එහෙත් ඩේවිඩ් කැමරන්, අන්ගෙලා මර්කල් සහ අයර්ලන්ත නායකයන් ඇතුළු පිරිසක මතය වී තිබෙන්නේ ඒ සඳහා හදිසි නොවිය යුතු බවයි.

Image caption ඉදිරි පියවර ගැන 'යුරෝපා සංගමය දෙකට බෙදිලා'

17:25 - බ්‍රිතාන්‍ය ජනමත විමසුමේ ප්‍රතිඵලය පිළිබඳව ලොව පුරා රටවල් ගණනාවක මහ බැංකු ප්‍රධානීන් පළ කළ ප්‍රතිචාරයයි, මේ.

17:20 - ජෙරමි කෝබින් දිගටම ලේබර් පක්ෂයේ නායකත්වයේ රැඳී සිටිය යුතු බව බ්‍රිතාන්‍යයේ බලගතු වෘත්තීය සමිති 12 ක නායකයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.

රටට නායකත්වයක් අවශ්‍යව තිබෙන මොහොතක ප්‍රධාන විපක්ෂයේ නායකත්ව අර්බුදයක් නිර්මාණය නොකරන මෙන් ඔවුහු ලේබර් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිති.

17:14 - උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්කරගැනීම උතුරු අයර්ලන්ත ජනතාවගේ අපේක්ෂාවන්ට එරෙහිව යන්නක් බව අයර්ලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය චාලි ෆ්ලනගන් පවසයි.

17:10 - ලන්ඩනයේ හිටපු නගරාධිපති බොරිස් ජොන්සන් මෙන්ම තෙරේසා මේ සහ මයිකල් ගොව් ඇමතිවරුන් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ මීළඟ නායකත්වයට තරඟ වදිනු ඇති බව අපේක්ෂා කෙරේ.

16:28 - මේ වසර අවසානයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමා විශ්වාස කරන බව බ්‍රිතාන්‍යයේ ඡායා මුදල් ඇමති ජෝන් මැක්ඩොනල් පවසයි.

එම මැතිවරණය සඳහා ලේබර් පක්ෂය සූදානම් වනු ඇති බවත් ඔහු පැවසීය.

16:15 - ජනමත විචාරණ ප්‍රතිඵලයෙන් අනතුරුව 'අනාගතය දෙස බලන' මෙන් JCB සමාගමේ ප්‍රධානියා බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලයි.

"බ්‍රිතාන්‍යය කියන්නේ ලෝකයේ පස් වැනි විශාලම වෙළඳ ආර්ථිකය. ඒ නිසා යුරෝපයෙන් ඉවත්වීම ගැන අපිට බයවෙන්න දෙයක් නෑ," JCB සමාගමේ ප්‍රධානී බැම්ෆර්ඩ් සාමිවරයා පැවසීය.

16:00 - ජෙරමි කෝබින් ගේ නායකත්වයට පක්ෂ පෙත්සමකට පැය තුනක් ඇතුලත අත්සන් 45,000 ක්.

ලේබර් පක්ෂයේ නායකයාට එරෙහිව මාග්‍රට් හොජ් මන්ත්‍රීවරිය විසින් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීමෙන් ටික වෙලාවකට පසුවයි අන්තර්ජාල මත විමසුම ආරම්භ කෙරුනේ.

15:23 - බ්‍රිතාන්‍ය ජනතාවගේ ප්‍රතිචාරය පිළිබඳව තමා කණගාටු වන බව ප්‍රංශ අගමැතිවරයා පවසයි.

Image caption ලේබර් පක්ෂ නායකයාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්

15:10 - ජනමත විචාරණ ප්‍රතිඵලය හේතුවෙන් සේවකයන් 2000 ක් පමණ බ්‍රිතාන්‍යයෙන් ඉවත් කරගැනීම සලකා බලමින් සිටින බවට පල වන වාර්තා මෝගන් ස්ටැන්ලි සමාගම ප්‍රතික්ෂේප කරන බව ව්‍යාපාරික කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකාරිය ජෝ ලයිනම් පවසයි.

14:59 - දිගටම යුරෝපා සංගමයේ රැදී සිටීමේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් සිය යුතුකම ඉටු කළ බව විපක්ෂයේ සහ ලේබර් පක්ෂයේ නායක ජෙරමි කෝබින් පවසයි.

යුරෝපා සංගමයේ බොහෝ දුර්වලතා හඳුනාගන්නා අතරම රට පුරාම සංචාරය කරමින් දිගටම රැඳී සිටීමේ ව්‍යාපාරයට සහාය දැක්වූ බව ඔහු සඳහන් කළේ, පක්ෂයේ මන්ත්‍රීවරියන් දෙදෙනකු විසින් ඔහුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙරාතුවයි.

14:40 - බ්‍රිතාන්‍ය ජනතාවගේ තීන්දුවට හිස නමන බව ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා පවසයි.

එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව අතර පවතින්නේ නොවෙනස් වන සුළු ආකාරයේ ස්ථිර සම්බන්ධතාවයක් බව සඳහන් කළ ජනාධිපති ඔබාමා, බ්‍රිතාන්‍යය මෙන්ම යුරෝපා සංගමයද එක්සත් ජනපදයේ අත් හල නොහැකි සහකරුවන් බවත් පැවසීය.

Image copyright Getty Images

14:20 - ජනමත විචාරණයේ ප්‍රතිඵලයක් ලෙසින් බ්‍රිතාන්‍යයේ නිවාසවල මිලත් පහල වැටේවිද? බීබීසී ව්‍යාපාරික වෙබ් අඩවිය කරන විමසුමක් මේ.

මේ අතර ශ්‍රී ලංකා ආණ්ඩුවේ පළමු ප්‍රතිචාරය පළ කරන නියෝජ්‍ය විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා.

13:56 - බ්‍රිතාන්‍යයේ ආයෝජන ප්‍රතිපත්තිය යළි සලකා බලන බව එයාර් බස් සමාගම පවසයි.

ජනමත විචාරණ ප්‍රතිඵලය බ්‍රිතාන්‍යයට පමණක් නොව සමස්ත යුරෝපයටම 'පරාජයක්' බවයි එයාර් බස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් එන්ඩර්ස් පවසන්නේ.

13:50 - ලන්ඩනයේ සේවයේ නියුතු සිය සේවකයන් 2000 කට ආසන්න පිරිසක් ඩබ්ලින් නුවරට හෝ ෆ්‍රෑන්ක්ඵර්ට් නුවරට මාරු කිරීම පිළිබඳව සලකා බලමින් සිටින බව මෝගන් ස්ටැන්ලි ආයෝජන බැංකුවේ ආරංචි මාර්ග උපුටා දක්වමින් ව්‍යාපාරික කටයුතු පිළිබඳ බීබීසී වාර්තාකාරිය ජෝ ලයිනම් පවසයි.

13:48 - ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් පදවියෙන් ඉල්ලා අස්විය යුතු බව ඡායා කැබිනෙට්ටුවේ සාමාජිකයෙක් බීබීසී යට පවසයි.

Image copyright Reuters
Image caption සංගමයේ ඉතිරි සාමාජිකයන් 27 දෙනා දිගටම රැඳී සිටිනු ඇත - යුරෝපා කොමිසමේ ප්‍රධානී ෂෝන් ක්ලෝඩ් ජන්කර්

13:00 - ජනමත විචාරණ ප්‍රතිඵලයට රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකත්වයට නම් කෙරී සිටින සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදය.

යුරෝපා සංගමයෙන් නිදහස ලැබීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජනතාව සිය ඡන්දය භාවිත කර ඇති බව ඔහු පවසයි.

12:35 - යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ සාකච්ඡා වහාම ආරම්භ කරන මෙන් යුරෝපා නායකයෝ බ්‍රිතාන්‍යයට පවසති. ඒ සඳහා තවත් කාලය ගැනීම මගින් රටේත්, කලාපීය වශයෙනුත් පවතින අස්ථාවරභාවය තවත් දීර්ඝ වනු ඇති බවයි ඔවුන් පවසන්නේ.

"සංගමයේ ඉතිරි සාමාජිකයන් 27 දෙනා දිගටම රැඳී සිටිනු ඇත," බවයි යුරෝපා කොමිසමේ ප්‍රධානී ෂෝන් ක්ලෝඩ් ජන්කර් පවසන්නේ.

Image caption යුරෝපා සංගමයේ නායකයෝ

12:25 - ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් ට එරෙහිව පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙන් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරති.

12:22 - බ්‍රිතාන්‍ය ජනමත විචාරණයේදී 'අපි බලාපොරොත්තු වුනේ වෙනත් ප්‍රතිඵලයක්' බව ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාපති ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයකින් පවසයි.

එක්සත් ජනපදයෙන් පළ වුනු පළමු නිල ප්‍රතිචාරය එයයි.

12:15 - යුරෝපා සංගමයෙන් ඉවත්වීමට බ්‍රිතාන්‍ය තීරණය කිරීමත සමඟම අයර්ලන්ත ගමන් බලපත්‍රයක් ලබාගන්නේ කෙලෙසද යන්න පිළිබඳව විශාල පිරිසක් සොයා බලමින් සිටින බව ගූගල් සෙවුම් යන්ත්‍ර සමාගම පවසයි.

12:05 - බ්‍රිතාන්‍යයේ තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජර්මානු චාන්සලර් අන්ගෙලා මර්කල් යුරෝපා නායකයන්ට ආරාධනා කරයි.

ජනමත විචාරණයේ තීන්දුව පිළිබඳව සන්සුන්ව සිටින මෙන්ද චාන්සලර්වරිය යුරෝපයෙන් ඉල්ලා සිටියි.

11:10 - ජනමත විචාරණයේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත්වීමත් සමඟම බ්‍රිතාන්‍ය පවුමේ අගය වාර්තාගත ලෙසින් පහල වැටින.

11:01 - ලේබර් පක්ෂයේ ඡායා කැබිනට් මණ්ඩලය මේ මොහොතේ රැස්වෙමින් සිටින බව දේශපාලන කටයුතු පිළිබඳ බීබීසී සංස්කාරකවරිය පවසයි.

10:30 - ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින් මේ මොහොතේ නායකත්වයෙන් ඉවත් නොවිය යුතු බව යුරෝපා සංගමයෙන් වෙන්වීම වෙනුවෙන් පෙනී සිටි ලේබර් පක්ෂ මන්ත්‍රීවරයකු වන ජෝන් මෑන් පවසයි.

පක්ෂ නායකයා ඉවත්විය යුතු බව පවසමින් මන්ත්‍රීවරුන් 55 දෙනකු අත්සන් තැබූ ලිපියක් තමා නොදුටු බවත් ඔහු පවසයි.

10:27 - ලේබර් පක්ෂ නායක ජෙරමි කෝබින්ටත් ඉල්ලා අස්වීමට සිදුවේවිද?

පක්ෂයේ නායකතත්වය පිළිබඳවත් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද තීරණයක් ගැනීමට ඉඩ තිබෙන බව දේශපාලන කටයුතු පිළිබඳ බීබීසී යේ නියෝජ්‍ය සංස්කාරක නෝමන් ස්මිත් පවසයි.

ලබන ඔක්තෝබර් මාසය වන විට පදවියෙන් ඉවත් වන බව අගමැති ඩේවිඩ් කැමරන් මීට ඉහතදී නිවේදනය කළේය.

ජනමත විචාරණයේ ප්‍රතිඵලයෙන් අනතුරුව රටේ පවතින අස්ථාවරත්වය යම් දුරකට සමනය වන තුරු මාස තුනක කාලයක් අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් ජනතාව තීරණය කර ඇති නව මාවත ඔස්සේ රට මෙහෙයවීමට අවැසි නායකයා තමන් නොවන බව ඔහු පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර