'හින්දි සිනමාවට ඇයි බොලිවුඩ් කියන්නේ?' ප්‍රියංකා චොප්රා

'හින්දි සිනමාවට ඇයි බොලිවුඩ් කියන්නේ?' ප්‍රියංකා චොප්රා

පනහකට අධික හින්දි සිනමා නිර්මාණ වලට සිය දායකත්වය සපයමින් ඉන්දියාවේ සුපිරි සිනමා රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රා බටහිර සිනමා ලෝකයත් ආක්‍රමණය කරමින් සිය වෘත්තීය ගමනේ ඉදිරි පියවර තබමින් සිටියි.

ඉන්දියානු ජාත්‍යන්තර ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වීම සඳහා ස්පාඥ්ඥයේ අගනුවරට පැමිණ සිටින සිනමා තරුව ප්‍රියංකා චොප්රා සමග බීබීසී වාර්තාකරු හරුන් රෂිඩ් පැවැත්වූ සාකච්ඡාවක දී ඇය කියා සිටියේ තමන්ට හොලිවුඩ් සිනමාවේ ඉතා දුර ගමනක් යාමට තිබෙන බවයි.

මෙවර ඉන්දියානු ජාත්‍යන්තර ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම සහයක රංගන ශිල්පිනිය වෙනුවෙන් පිදෙන සම්මානය හිමි කර ගත්තේ හින්දි සිනමාවේ ජනප්‍රිය නිලි ප්‍රියංකා චොප්රා විසින්.

ඇය විසින් ප්‍රධාන චරිතයක් නිරූපනය කරනු ලබන 'කොන්ටිකෝ' නම් රූපවාහිනි කතා මාලාව ඇමරිකාව තුළ ප්‍රසිද්ධියක් ලබා ඇති අතර 'බේ වොච්' සුප්‍රසිද්ධ හොලිවුඩ් සිනමා නිර්මාණය අනුකරණය කරමින් නිෂ්පාදනය කෙරෙන නව සිනමා කෘතියේ ප්‍රධාන චරිතයක් හිමි කර ගැනීමටද ප්‍රියංකා සමත් වී සිටියි.

කෙසේ වෙතත් හොලිවුඩ් සිනමාවේ සිය නම සටහන් කිරීම සම්බන්ධයෙන් ඇය දරන්නේ ඉතා නිහතමානී ප්‍රතිචාරයක්.

ඉන්දියානු ජාත්‍යන්තර ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වූ ප්‍රියංකා චොප්රා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඉන්දියානු ජාත්‍යන්තර ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වූ ප්‍රියංකා චොප්රා

"එක චිත්‍රපටියක හෝ එක වැඩසටහනකට සහභාගී වෙන්න ඔබට අවස්ථාව හිමි වෙනවා කියන එකෙන් ඔබ හොලිවුඩ් සිනමාවේ තරුවක් බවට පත් වෙන්නේ නැහැ. ඉන්දීය සිනමාවේ වත් එහෙම වෙන්නේ නැහැ" ප්‍රියංකා සිනා මුසුව සිය අදහස් පළ කාළාය.

තරුණ සමාජයේ ප්‍රසිද්ධම තරුව වශයෙන් සහ ලෝකයේ වඩාත්ම සමාජමය බලපෑමක් එල්ල කළ හැකි බලවත් පුද්ගලයන් සිය දෙනා ගේ කැමැත්ත ලබා 'ටයිම්ස්' සඟරාවේ මුල් පිටුව සරසන්න ප්‍රියංකාට අවස්ථාව හිමි විය.

හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වීම ඉතා බැරෑරුම් කර්තව්‍යයක් බව විස්තර කළ සිනමා තරුව වැඩි දුරත් කියා සිටියේ බොලිවුඩ් රංගන ශිල්පීන් යනු සංගීතයට පාද තබමින් නටන විහිළුකාරයෝ නොවන බව ලෝකයට ඒත්තු ගැන්වීමට තමන් විශාල උත්සාහයක් දරමින් සිටින බවයි.

ප්‍රියංකා චොප්රා

ඡායාරූප මූලාශ්‍රය, RAINDROP

බොලිවුඩ් ලෙස හින්දි සිනමාව හඳුන්වන මිනිසුන් ඉන්දීය සිනමාව හොලිවුඩ් සිනමාවේ යම් අනුකරණයක් යයි සිතා සිටින බව කියා සිටි ප්‍රියංකා චොප්රා පවසන්නේ ඉන්දීය සිනමාව ඉන් එහාට විහිදුනු දැවැන්ත ක්ෂේත්‍රයක් බවයි.

හින්දි භාෂාවෙන් හඬ කැවූ 'ජන්ගල් බුක්' ඉංග්‍රීසි චිත්‍රපටය හොලිවුඩ් සහ බොලිවුඩ් සාර්ථක සංකලනයක ප්‍රතිඵලයක් බව සඳහන් කළ ප්‍රියංකා චොප්රා පෙන්වා දුන්නේ එවැනි නිර්මාණ විශාල සාර්ථකත්වයක් ලැබුවත් එයින් ඉන්දීය සිනමාවට කිසිදු හානියක් සිදු වීමේ තර්ජනයක් නොමැති බවයි.

මේ වන විට ෆොක්ස්, ඩිස්නි වැනි බටහිර ලෝකයේ සෑම බලවත් සිනමා නිෂ්පාදක සමාගමක්ම බොලිවුඩ් සිනමාව සමග සම්බන්ධ වී ඉන්දියාවේ ව්‍යාපෘති අරඹා ඇති යුගයක හින්දි සිනමාවේ දක්ෂතා ඇති තරු හොලිවුඩ් සමග එකතු වී කටයුතු කිරීමේ අවශ්‍යතාවක් ඇති බවයි ප්‍රියංකා චොප්රා පවසන්නේ.