කම්කරු පක්ෂ නායකයාට එරෙහි විශ්වාසභංගයක්

කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින් Image copyright Getty Images
Image caption කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරමි කෝබින්ට එරෙහි විශ්වාසභංගය සඳහා එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (28) ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

කම්කරු පක්ෂයේ තවත් 'ඡායා කැබිනට් ඇමතිවරයකු' සිය ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ජෙරමි කෝබින්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස එල්ල වන පීඩනය ඉහළ යමින් පවතියි.

දින දෙකක් ඇතුළත කම්කරු පක්ෂ 'ඡායා කැබිනට් මණ්ඩලයේ' සාමාජිකයන් හතළිස් දෙනෙක් සිය ධුරවලින් ඉවත් වී තිබේ.

දිගටම යුරෝපා සංගමයේ රැඳී සිටීමේ ප්‍රචාරක ව්‍යාපාරය වෙනුවෙන් සිය යුතුකම නිසියාකාරව ඉටු නොකළ බවට කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බොහෝ දෙනෙක් සිය නායකයාට චෝදනා කරති.

කම්කරු පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයන් ජෙරමි කෝබින්ගේ නායකත්වය කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා සිටින බවක් දක්නට ඇතැයි මේ අතර ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර