'පොලිස් නිලධාරීන්ට ළමා අපයෝජන චෝදනා'

ඇෆ්ගනිස්තාන පොලිස් සේවය තුළ ආයතනගත වශයෙන් ළමා අපයෝජනය සිදු වන බවට ඉදිරිපත් වී ඇති චෝදනා විභාග කිරීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන බව එරට ජනාධිපති අෂ්රෆ් ගානි පවසයි.

ඇෆ්ගනිස්තාන පොලිස් සේවා අමාත්‍යංශයට බඳවා ගැනෙන ලාබාල වයසේ පසුවන පිරිමි ළමුන් ජේෂ්ඨ නිලධාරීන් විසින් ලිංගික අඩන්තේට්ටම් වලට භාජනය කරන බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

දකුණු ඇෆ්ගනිස්තානයේ උරුස්ගාන් පළාතේ පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිමි ළමුන් ලිංගික වහලුන් ලෙස භාවිතා කරන බවට ජනමාධ්‍ය විසින් පළ කරනු ලැබූ වාර්තාවක් සැලකිල්ලට ගෙනයි ජනාධිපති අෂ්රෆ් ගානි මෙම විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කර තිබෙන්නේ.

ප්‍රංශ පුවත් සේවය කියා සිටියේ මෙලෙස පොලිස් නිලධාරීන්ගේ ලිංගික අඩන්තේට්ටම් වලට ගොදුරු වූ පිරිමි ළමුන් අල්කයිඩා සංවිධානය විසින් බඳවා ගනු ලබන අතර පසුව පොලිස් කණ්ඩායම් වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යොදා ගන්නා බවයි.